කොමිසමේ බලය පරිදි සාක්ෂිකරුවන්ගේ සන්නිවේදන උපකරණ බාර ගැනීමට හැකියි

Spread the love

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පුද්ගලික සමාගම් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ භාරදෙන ලෙස ඔහුට දැනුම් දීමට ජනාධිපති බැඳුම්කර කොමිසමට බලයක්‌ නැතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා ඉදිරිපත් කළ කරුණු ජනාධිපති බැඳුම්කර කොමිසම ඊයේ (14 දා) ප්‍රතික්‍ෂේප කළේය.

කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා විසින් කොමිසමට ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්‍ෂේප කරමින් ඊයේ නියෝගයක්‌ නිකුත් කළේය.

කොමිසමේ පරීක්‍ෂණ කටයුතු පවත්වා ගෙන යැමට අදාළ රෙගුලාසි කිසිවක්‌ සකස්‌ කර නැති නිසා කොමිසම මේ දක්‌වා පරීක්‍ෂණ පවත්වාගෙන ගිය ආකාරය වැරදි බවට ඉදිරිපත් කළ කරුණු කොමිසම ඊයේ ප්‍රතික්‍ෂේප කළේය.

ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්‌ස මහතා මීට සතියකට පමණ පෙර ඉදිරිපත් කළ එකී කරුණු පිළිබඳව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ඕනෑම පුද්ගලයකු සාක්‍ෂියට කැඳවීමටද කොමිසමේ පරීක්‍ෂණවලට අවහිර වන භාණ්‌ඩයක්‌ පරීක්‍ෂා කිරීමට කොමිසමට භාර දෙන ලෙස නියෝග කිරීමටද කොමිසම් සභා පනතේ 7(1) වගන්තිය යටතේ කොමිසමට සම්පූර්ණ බලතල පැවරී ඇති බවයි.

ඒ අනුව සාක්‍ෂියට කැඳවන පුද්ගලයකු සතුව තිබෙන ලියවිලි, විද්යුත් උපකරණ, සන්නිවේදන හා පරිගණක උපකරණ භාර දෙන ලෙස ඉල්ලා සිටීමට කොමිසමට බලය පැවරී ඇති බවත් කොමිසම ප්‍රකාශයට පත් කළ නියෝගයේ සඳහන් කර ඇත.

මෙම කොමිසම පත්කර ඇති කොමිසම් සභා පනතේ රෙගුලාසි යටතේ නිසියාකාර හා සම්පූර්ණ වූත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කොමිසමට නිශ්චිත කාරණාවක්‌ යොමුකර ඇත්තේ ඊට අවශ්‍ය සියලුම බලතල පවරමින් බවත් එනිසා කොමිසමට බලයක්‌ නැතැයි නැගූ තර්ක පදනම් විරහිත බවත් එම තීන්දුවේ තවදුරටත් සඳහන් කර ඇත.

තීන්දුවේ මෙසේද සඳහන් වේ.

අර්ජුන ඇලෝසියස්‌ මහතාගේ ජංගම සන්නිවේදනවල පරිගණක උපකරණවල දත්ත පරීක්‍ෂා කිරීමට තීරණය කළේ කොමිසම හමුවේ එතෙක්‌ ඉදිරිපත් වූ සාක්‍ෂි සලකා බැලීමෙන් පසුවයි. කොමිසම පවත්වන පරීක්‍ෂණ සඳහා එම දත්ත පරීක්‍ෂාකර බැලීම අවශ්‍යයෙන්ම කළ යුතු බව කොමිසම තීරණය කරන ලදි.

කොමිසමට සහාය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ඇලෝසියස්‌ මහතාගේ ජංගම සන්නිවේදන උපකරණ කොමිසම භාරයට ගෙන රහස්‌ පොලිස්‌ නිලධාරීන් ලවා එම උපකරණවල අන්තර්ගත තොරතුරු ලබා ගැනීමට හෝ පිටපත්කර ගැනීමට කටයුතු යොදන ලෙස කොමිසම නියෝග කළ අතර 2017 ජුලි 20 දා අර්ජුන ඇලෝසියස්‌ මහතාට ඔහු සතු එම උපකරණ භාර දෙන ලෙස කොමිසම නියෝගයක්‌ නිකුත් කළේය.

ඒ නියෝගයට කිසිම විරෝධයක්‌ නොදක්‌වා ඔහු සතු ජංගම දුරකථන සහ ලැප්ටොප් කොමිසමට භාර දුන් අතර ඒ අවස්‌ථාවේදී ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්‌ස මහතා ඒ අවස්‌ථෘවේදී කිසිදු විරෝධයක්‌ දැක්‌වූයේ නැත.

කොමිසන් සභා පනතේ 7(1) යටත් කොමිසමට එකී නියෝග නිකුත් කිරීමට බලයක්‌ නැතැයි කියන තර්කයේ කිසිදු පදනමක්‌ නැත.

කොමිසමට පැවරී ඇති කාර්යභාරය නිසියාකාරව ඉටුකිරීම සඳහා යම් සාක්‍ෂිකරුවකු කොමිසම හමුවේ සාක්‍ෂි දීමට පෙර ඔහු සතුව ඇති සියලුම ජංගම සන්නිවේදන උපකරණ පරීක්‍ෂා කිරීමට අදාළ පනතේ 7(1) බී.බී.වී. වගන්තියෙන් සම්පූර්ණ බලය පැවරී ඇති බවටත් තීරණය කරමි.

කොමිසමේ පරීක්‍ෂණ කටයුතු පවත්වාගෙන යැම සඳහා රෙගුලාසි මාලාවක්‌ සකස්‌ කර ඇතත් කටයුතු සිදුවී නැති බවට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා නැගූ තර්කය සම්බන්ධයෙන් කොමිසම සඳහන් කළේ එය කොමිසම විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කාරියක්‌ නොවන බවයි.

කොමිසම් කාර්ය මණ්‌ඩලයේ සිටින්නේ ඉතා ස්‌වල්ප දෙනෙකි. ඒ අය කටයුතු කරන්නේ ලේකම්වරයාගේ උපදෙස්‌ අනුවයි. කොමිසමේ සභාපති හා සෙසු කොමසාරිස්‌වරු දිනපතාම රැස්‌වී සාක්‍ෂි විභාග කිරීමේ කටයුතුවල නිරත වෙති. එනිසා මෙම කාර්ය සඳහා රෙගුලාසි මාලාවක්‌ සකස්‌ කිරීම අවශ්‍ය වන්නේ නැත.

කොමිසම සාක්‍ෂියට කැඳවන සාක්‍ෂිකරුවන් තීරණය කරන්නේ නීතිපති සහ ඔහුගේ නිලධාරීන් යෑයි පැවසීම ද වැරැදියි. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරන්නේ කොමිසම් පරීක්‍ෂණ කටයුතු සඳහා සහායවීමයි. සාක්‍ෂිකරුවන් තීරණය කරන්නේ කොමිසමයි.

කොමිසම ඊයේ එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකයන් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතාගේ සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි මහතාගේ සහභාගිත්වයෙන් රැස්‌විය. රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රමුඛ රජයේ නීතිඥවරුද කොමිසමට සහභාගි වී සිටියහ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් වැඩිදුර සාක්‍ෂි විමසීම එම සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා සහ නීතිඥ රොමාලි තුඩාවේ මහත්මිය විසින් සිදු කරන ලදී. පලිසේන මහතා ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දුන්නේ පස්‌වන දිනටයි.

කොමිසම යළි අද (15 දා) උදේ 10.00 ට රැස්‌වේ.

RSL

Related Posts