කෘෂි නිෂ්පාදන වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ‘ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිති සහතිකය’ ලබාගැනිමට EDB මගින් ආධාර වැඩසටහනක්

Spread the love

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දේශිය කෘෂි නිෂ්පාදන වගාකරුවන් සහ සැකසුම් කරුවන්ට ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිතිය (SLS 1324:2018) අනුව කාබනික සහතික ලබාගැනිමට ආධාර වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. SLS 1324:2018  කාබනික සහතිකකරණය සඳහා ප්‍ර‍තීතන මණ්ඩලයේ අනුමැතිය ලත් සහතිකකරණ ආයතනයක් මගින් කාබනික සහතිකය ලබා දෙනු ලැබේ.

මෙම වැඩසටහනෙහි මූලික අරමුණු වන්නේ කුඩා ගොවීන් අතර ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිතිය (SLS 1324:2018) ප්‍ර‍වර්ධනය කිරීම, කාබනිකව වගාකරන/සකසන නිෂ්පාදන නියමිත ප්‍ර‍මිතියකට අනුව නිෂ්පාදනය කරවීම, සකස් කිරීම හා ලේබල් කිරීම ක්‍ර‍මවත් කිරීම, කාබනික නිෂ්පාදනය සඳහා වගාකරුවන් දිරි ගැන්වීම මගින් නිෂ්පාදන පරිමාව හා ආදායම වැඩි කිරීම, වගා භූමියේ සිට වෙළඳපොල දක්වා සැපයුම් හා අගයදාමවල විනිවිද භාවය ඇති කිරීම සහ අපනයන වෙළඳාම සඳහා අවශ්‍ය වන කාබනික ප්‍ර‍මිතීන් ලබා ගැනීමට සුදුසු වන පරිදි දේශීය කාබනික ගොවීන්/සැකසුම්කරුවන්ගේ තත්වය ඉහළ නැංවීමයි.

සහල්, පළතුරු, කජු, එළවළු, ඖෂධ පැළෑටි, ධාන්‍ය , කුළුබඩු, පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන, හරිත පළා යන නිෂ්පාදන කාබනික ලෙස වගා කිරීම හා සැකසුම් කිරීමට උනන්දුවක් දක්වන දේශීය ගොවීන්ට හා සැකසුම්කරුවන්ට මේ සඳහා අයැදුම් කළ හැකිය. තෝරා ගන්නා අයැදුම්කරුවන් සඳහා අදාළ සහතිකය ලබා ගැනීමේදී වැයවන මූලික පිරිවැය, ක්ෂේත්‍ර‍ පරීක්ෂාව, පරික්ෂණ වියදම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුග්‍ර‍ය හිමිවේ.

මේ සඳහා වන අයැදුම්පත් අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.srilankabusiness.com) ද, වැඩි විස්තර 0112300717/ 0112300705-11 දුරකථන Fax:0112304879 හා madhumali@edb.gov.lk යන විද්‍යුත් තැපෑල මගින් ද දැනගත හැකිය. අයැදුම්පත් භාර ගන්නා අවසාන දිනය වන2021  ජූනි 04 වන දිනට දිනට පෙර අදාළ අයැදුම්පත් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සංවර්ධන, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, අංක 42, නවම් මාවත, කොළඹ 02 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

Related Posts