කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට QR කේතයක්

Spread the love

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කළේය.

අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී අද (26) පැවති උත්සවයට එක්වෙමිනි.

ඩිජිටල්කරණය රට තුළ ව්‍යාප්ත කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව තාක්ෂණ අමාත්‍යාංශය විසින් “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” ක්‍රියාත්මක කර තිබෙන අතර, යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, නිපුණතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සයිබර් ආරක්ෂාව, ආරක්ෂාව සහ පෞදගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, සම්බන්ධිත ඩිජිටල් රජය, කර්මාන්ත අංශ සහ ඩිජිටල්කරණය යන මූලික කුලුණු 06ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙම කුලුණු යටතේ ඩිජිටල්කරණය බිම් මට්ටමට ගෙනයෑමේ මූලික අදියර කෑගලු දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 42කට හා පාසල් 62කට සුහුරු පන්ති කාමර උපකරණ කට්ටල බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.

රඹුක්කන පරාක්‍රම විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර මෙහිදී සිසු දරුවන් විසින් මහත් හරසරින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබිණි.

මේ අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ QR කේත ක්‍රමය හඳුන්වා දීම වෙනුවෙන් පින්නවල සත්වොද්‍යාන පරිශ්‍රයේ අද (26)පැවති උත්සවයට ද ජනාධිපතිවරයා එක් විය.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ව්‍යාපෘති 07ක් සංවර්ධනය කිරීමට නියමිතය. ඒ යටතේ හිරිවඩුන්න පාලම අසල සිට පින්නවල අලි අනාතාගාරය දක්වා මං තීරුව සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය හා පින්නවල සත්වෝද්‍යානය අවට වීථි පහන් සවිකිරීම, පින්නවල ඉපැරණිගම සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙසට වැඩි දියුණු කිරීම, දැලිවල කොටවෙහෙර විහාරස්ථානය සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය අසල රථ වාහන නැවතුම්පොළ සහ යෝජිත කඩ සාප්පු සංකීර්ණය සංවර්ධන කිරීම, පින්නවල සත්වෝද්‍යාන රථගාල හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

පින්නවල සත්වෝද්‍යාන පරිශ්‍රයේ පැවති DIGIECON ප්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් වූ අතර QR කේතය මඟින් ගෙවීම් නිල වශයෙන් ආරම්භ කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

පින්නවල වාගොල්ල කෘෂි පුහුණු මධ්‍යස්ථානය ඉදිකර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

ව්‍යවසායකයින් ට SLS සහතික පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Related Posts