කිරිපිටි ආනයනකරුවෝ යළිත් මස් රාත්තලම ඉල්ලති

Spread the love

වර්තමානය වන විට තම සමාගම කිරිපිටි කිලෝවකින් රුපියල් 100ක අලාභයක් ලබන බවත් ඒ අනුව ආනයනික කිරිපිටි මිල ඉක්මනින්ම නැවත ඉහළ දමන බවත් ‘පොන්ටේරා’ සමාගමේ ප්‍රකාශයකු සදහන් කළේය.

ඔහු වැඩි දුරටත් පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස කිරිපිටි මිල වැඩි කළ ද ඉන් පසුව ද කිලෝවකින් රුපියල් 100 කට අධික පාඩුවක් ලබමින් සිටින බවත් දිගින් දිගටම මේ ආකාරයෙන් පාඩු ලැබීමට තම සමාගමට හැකියාවක් නැති බවයි.

මේ අතර කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ද අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ආනයනික කිරිපිටි මිල හෙට (30) සිට නැවත ඉහළ දැමීමට සිදුවන බවයි.

‘‘කිරිපිටි මිල කොපමණ ප්‍රතිශතයකින් ඉහළ දමනවාද යන්න අද ප්‍රකාශයට පත්කරනවා. මෙම කිරිපිටි මිල ඉහළ දැමීම ඇතැම් විට කිරිපිටි ආනයනකරුවන්ගේ සාමූහික ඉහළ දැමීමක් නොවීමට බොහෝ විට ඉඩ තිබෙනවා. කිරිපිටි සඳහා පාලන මිලක් නොමැති වීම නිසා කිසියම් සමාගමකට මිල වැඩි නොකිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා මේ වන විට වෙළෙදපොළේ තරගකාරී තත්වයක් නිර්මාණය වී තිබෙනවා‘

පසුගිය ඔක්තෝබර් මස 10 වැනි දින ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කින් ද, ඉහළ දැමීමට ආනයනික සමාගම් විසින් පියවර ගත්තේය. ඒ අනුව මේ වන විට කිරිපිටි කිලෝවක් රුපියල් 1195 කට සහ කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 480 කට අළෙවි කරනු ලැබේ.

ආනයනික කිරිපිටි මිල ඉහළ යාම සමග ඊට සමගාමීව දේශීය කිරිපිටි සැපයුම්කරුවන් ද ඊට සමාන මිලකින් කිරිපිටි මිල ඉහළ දැමීමට පියවර ගත්තේය.

මේ වන විට රට පුරා කිරිපිටි හිගයක් පවතින අතර එමගින් ජනතාව දැඩිව පීඩාවට පත්ව සිටිති. කෙසේ වෙතත් බස් ගාස්තු ඇතුළු සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඛණ්ඩව ඉහළ යාම සමග ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

Related Posts