කසුප් රජු සිටියා නම් පාලකයන්ගේ හිස ගසා දමනවා

Spread the love

ලෝක උරුම සීගිරිය වර්තමානයේ වන විට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න දේශයක් බවට පත්වෙමින් තිබෙන බව  සීගිරිය ප්‍රදේශ්වාසීහු පවසති.

සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

ලෝක උරුම  බිම්කඩක් බවට නම් කළ  ස්මාරකය ද මේ වන විට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව නගරයේ අයාලේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි පීඩනයක් පත්ව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙම ස්ථානයට යන ඕනෑම වෙලාවක දෙස් විදෙස් සංචාරකයන් පසුපස හපා කන්නට යන විශාල සුනඛ රැන බරපතළ තර්ජනයක් බවද පෙන්වා දෙන සීගිරිය නව නගරවාසීහූ දේශීය සංචාරකයන් සඳහා අනුමත නව නගරයේ රථ ගාල සම්පූර්ණයෙන්ම මඩ  වගුරක් බවට පත්ව ඇතැයි පෙන්වා දෙති.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තනා දුන් වෙළඳසැල්  සියල්ල මේ වන විට ගරාවැටී දැඩි ප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති  දේශීය සංචාරකයන් සඳහා ඉදිකර ඇති වැසිකිළි පද්ධතිය දොරවල් කැඩි  අපිරිසිදු භාවයට පත්ව අඩුම තරමේ ජලය රැගෙන යෑමට හෝ භාජනයක් නොමැති තරමට පත්ව තිබේ. එහි  පාලනය කරන පුද්ගලයා නළ ළිඳකින් කැඩී ගිය බාල්දි වලට ජලය ගෙනත් දීම සිදු කරයි.

මුළු ලෝකයක් විස්මිතව නැරඹීම් සඳහා පැමිණෙන සීගිරිය නව නගරය අයිතිකරුවෙකු නොමැති තත්ත්වයට පත්ව ඇතැයි සීගිරිය විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ පවසති.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සෑම දෙයකටම සංචාරකයන් ගෙන් මුදල් අය කර ගැනීම පමණක් සිදුකරන බවත් අනෙකුත් සිදුවිය  යුතු යුතුකම් කිසිවක් ඉටු නොවන බව උන්වහන්සේ පෙන්වා දෙති. මේ වනවිට කාශ්‍යප රජු සිටියේ නම් මෙම පාලකයන්ගේ හිස ගසාදමනු ඇති බව උන් වහන්සේ පවසති.

අග්‍රාමාත්‍යවරයාගෙන් තමා ඉල්ලා සිටින්නේ ලෝක උරුම සීගිරිය විනාශ මුඛයට යන්නට නොදී රැකගන්නා ලෙස බව ද උන්වහන්සේ පවසති.

ප්‍රදේශවාසීන් කියා සිටින්නේ සිගිරිය නව නගරය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් නොවන බව ඔවුන් පවසන බවයි. එය දඹුල්ල ප්‍රාදේශීය සභාවට අයත් ඔවුන් කියන බව ද ඔවුහු කියති.

දඹුල්ල ප්‍රාදේශීය සභාව කියන්නේ සීගිරිය නව නගරය තමන්ට අයත් නැති බවයි.

කෙසේ වෙතත් දිනකට විශාල පිරිසක් සීගිරිය නැරඹීම සඳහා මේ දිනවලද පැමිණෙමින් සිටිති. මේ දිනවල දිනකට විදේශීය සංචාරකයන් පන්සියයකට අධික පිරිසක් පැමිණෙද්දී දේශීය  සංචාරකයන් දහස ඉක්මවා  පැමිණෙන්න බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

දේශීය සංචාරකයකුගෙන් සීගිරිය  නැරඹීම්ට සඳහා අය කරන මුදල රුපියල් සියයකි. විදේශීය සංචාරකයෙකුගෙන් අය කරන මුදල ඇමරිකානු ඩොලර්  30කි.

සීගිරිය නව නගරයේ පවතින මෙම බරපතළ ප්‍රශ්නය  පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති  කළමනාකරු උපුල් ශාන්ත මහතාගෙන් විමසීමේ ඔහුදී කියා සිටියේ  නව නගරයේ පරිපාලන කටයුතු දැනට දඹුල්ල ප්‍රාදේශීය සභාවට පවරා දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානමි කරමින් සිටින බවයි. කෙසේ වෙතත් විදේශීය සංචාරකයන් සියලු දෙනාගේ පහසුකම් අවශ්‍ය පරිදි සපයා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. ජී. සෝමතිලක මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නීත්‍යානුකූලව එම ප්‍රදේශ භාරදී නොමැති බවත් නීත්‍යානුකූල භාරදීම්ක් සිදු කළ විට එය නඩත්තු කිරීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම  වීශාල මුදලක් සීගිරිය පෙන්වා මධ්‍යම සංස්කෘතික අරමුදල අ යකළ ද ප්‍රාදේශීය සභාවට හෝ ප්‍රදේශයේ සංවර්ධනයකට කිසිදු මුදලක් ඔවුන් ලබා නොදෙන බවත් අඩුම තරමේ සීයට රුපියල් තුනක මුදලක් ඉල්ලා වසර ගණනාවක් ගත වුවද මධ්‍යම සංස්කෘතික අරමුදල එම මුදල හෝ ලබා දීමක් සිදු නොකරන බව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts