එජනිසයෙන් හා පොල් සංවර්ධන ඇමතිගෙන් ජනපතිට සුබපැතුම්

Spread the love

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 66 වන ජන්ම දිනය හා දෙවන පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර ඇත.

‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ 66 වන ජන්ම දිනය හා ජනාධිපති දෙවන පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙන් ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගෞරවණීය උත්තමාචාරය පුදකරමු.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් 2005 නොවැම්බර් 17 වැනිදා පැවති මැතිවරණයෙන් සිය ප‍්‍රථම ධුර කාලය සඳහා තේරී පත්වන්නේ එතුමන්ගේ දේශපාලන දිවියේ වසර 40ක පෘථුල අත්දැකීම් සමූහයක් සමඟය. දශක 3ක පමණ කාලයක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම අවසන් කොට රටට සාමය ලබාදෙන බවට සිය පළමු පදවි ප‍්‍රාප්තියේ දී ම එතුමා අද්විතීය පොරොන්දුවක් ලබාදුන්නේය. ප‍්‍රථම ධුර කාලය අවසන් වීමට පෙර එනම් 2009 මැයි 19 වන දා වන විට එම පොරොන්දුව සපුරා ත‍්‍රස්තවාදයෙන් රට බේරාගෙන සාමය උදා කළ බවට වූ ඓතිහාසික ප‍්‍රකාශය පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කරනු ලැබීය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පළමු පදවි ප‍්‍රාප්තියේ දී දුන් පොරොන්දුව අද යථාර්ථයක් වී ඇති බව සනාථ වී ඇත. ත‍්‍රස්තවාදය අවසන් කළ 2009 මැයි 19 වැනිදායින් පසු ව මේ වනතුරු කිසිදු ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ශ‍්‍රී ලංකාව තුළ සිදු වී නොමැත. එහෙත් ත‍්‍රස්තවාදය පරාජය කොට සාමය උදාකරමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එතුමන් කළ ඒ උතුම් කාර්යභාරයට විවිධාකාරයෙන් අභියෝග එල්ල කරමින් එල්ටීටීඊ ත‍්‍රස්තවාදයේ විවිධ වූ විදේශීය කණ්ඩායම්, විවිධ සංවිධාන, විවිධ දේශපාලනඥයන් සම්බන්ධ වී රටට හා ජනතාවට එරෙහි ව අභියෝගාත්මක වැඩපිළිවෙළක් ජාත්‍යන්තර වශයෙන් ක‍්‍රියාත්මක කර ඇත.

විපක්‍ෂය විසින් ම විපක්‍ෂය දුර්වල කරගෙන තිබෙන අතර ම ජනාධිපතිතුමන්ගේ සුවිශේෂ නායකත්වය නිසා ම එතුමන්ට දේශීය වශයෙන් කිසිදු අභියෝගයක් මේ වන විට මතු වී නොමැත. ජාත්‍යන්තර මට්ටමින් අභියෝග එල්ල වුව ද ඒවා අභිබවා රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් ජාතික මට්ටමෙන් එපිටට ගොස් ලෝක නායකයකුගේ මට්ටමට ජනාධිපතිතුමන් පත් ව සිටීම ශ‍්‍රී ලාංකීය ජාතියට සතුටු විය හැකි සේ ම ආඩම්බර විය හැකි කාරණයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලය, සාර්ක් සංවිධානය ආදී ජාත්‍යන්තර සංවිධානවලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහභාගී වන විට එතුමන්ට ලෝක නායකයන්ගේ විශේෂ ඇගයීමක් ලෙන්ගතුකමක් මෙන් ම ගරු කිරීමක් මේ වන විට දක්නට ලැබේ. මෙම තත්ත්වය එතුමන් ජාත්‍යන්තර ව ලබාගත් කීර්තියක් ලෙස සැලකිය හැකියි.

ජනාධිපතිතුමා මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ගෞරවණීය ඇගයීමට ලක්වන ලෝක නායකයකු බවට පත් වී අවසානය. ජනාධිපතිතුමන් ජාත්‍යන්තර අභියෝගවලට මුහුණදෙන අතරතුර ම දශක 3ක ත‍්‍රස්තවාදය නිසා උතුරු නැගෙනහිර ඇතුළු දිවයින පුරා අතපසු වූ සංවර්ධනය හා යටිතල පහසුකම් නැවත නංවාලීමේ දැවැන්ත මෙහෙයුමක නිරත වී සිටි. එම වැඩපිළිවෙළ මේ වන විට අතිශයින් සාර්ථක ව ක‍්‍රියාත්මක කරන බව මහජනතාව පිළිගෙන ඇත. ඒ බව මේ වසරේ මාර්තු, ජූලි, ඔක්තෝබර් යන තෙමස තුළ අවස්ථා තුනක පැවති පළාත් පාලන ආයතන 322ක මැතිවරණයේ දී ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතන 273ක් ඍජු ව ජයගෙන තිබීමෙන් සනාථ වේ. පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්‍ෂ පළාත් පාලන ආයතන 11ක් ජයග‍්‍රහණය කර ඇත. මේ අනුව හයෙන් පහට වැඩි පළාත් පාලන ආයතන බලයක් ගම් මට්ටමින්, නගර මට්ටමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදීමට ජනතාව තීන්දු කළේ ත‍්‍රස්තවාදයෙන් පසු ජනාධිපතිතුමන් ආරම්භ කළ සංවර්ධනීය වැඩපිළිවෙළ ජනතාව පිළිගත් හෙයිනි.

සිය දෙවන ධුර කාලය ආරම්භ කරන හා සිය 66 වන ජන්ම දිනය සමරන මේ අවස්ථාවේ දී එතුමන් වෙත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෘදයාංගම සුභපැතුම් එක්කරන අතර ම ජනාධිපතිතුමන් ඇරඹූ මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළින් ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට මීළඟ වසර කිහිපය තුළදී පත්කර ගැනීම සඳහා එතුමන්ට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නීරෝගී බව ලැබේවා යැයි ප‍්‍රාර්ථනා කරමු.’

සුසිල් පේ‍්‍රමජයන්ත
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්

පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ සුභ පැතුම

“පුරා වසර 30 මුළුල්ලේ අඛණ්ඩ ව පැවති භීෂණ යුද්ධයෙන් ජයගෙන මිනීමරු ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය රැකගෙන රටේත් ජාතියේත් අනන්‍යතාව තහවුරු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 66 වන උපන් දිනය වෙනුවෙන් හා පදවි ප්‍රාප්තියේ සත්වන වසරට පා තැබීම නිමිත්තෙන් අද දින එතුමාට ජාතියේම උපහාරය පිදෙන මේ සුවිශේෂ අවස්ථාවේ දී මා ද ඊට එක් වන්නේ අසීමිත භක්තියකින් හා ගෞරවයෙනි.

විශේෂයෙන් ම පොදු මහත් ජනතාවගේ හිතසුව පිණිස මහින්ද චින්තනයේ ගැබ් වී ඇති විවිධාකාරයේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් එහි ප්‍රතිලාභ ඉතා හරවත් ලෙස ජනතාව අතරට කාන්දු වන මේ මොහොත ජාතියේ හෙට දවස වර්ණවත් කරනු ලබන පෙරනිමිත්තක් ලෙස මම දකිමි.

එතුමාගේ නායකත්වයෙන් සියලු ම පොදු ජනතා අවශ්‍යතාවන් එකිනෙක ක්‍රමික ව සපුරාලමින් රට ඉදිරියට ගමන් කරන මෙවන් අවස්ථාවක එතුමාගේ උපන් දිනයත්, පදවි ප්‍රාප්තියේ සත්වන වසරට පා තැබීමත් එක ම දිනක යෙදී තිබීම දෛවයේ ආශිර්වාදයකි. එය රටටත් ජාතියටත් විශේෂ වැදගත් දිනක් වනු නොඅනුමානය.”

RSL

Related Posts