“එක්ස් වජ්‍ර ප්‍රහර් 2022” වාර්ෂික ඉන්දු-එක්සත් ජනපද ඒකාබද්ධ විශේෂ බලකා අභ්‍යාසයේ 13 වන අදියර සඳුදා හිමාචල් ප්‍රදේශ්හිදී ආරම්භ විය.

බක්ලෝහ්හි ඉන්දීය විශේෂ බලකා පුහුණු පාසල විසින් පවත්වනු ලබන මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ විශේෂ බලකා නිලධාරීන් සහභාගි වේ.

ඉන්දීය විශේෂ බලකා පුහුණු පාසල යටතේ විශේෂ බලකායේ ඉන්දීය හමුදා කණ්ඩායම සහභාගී වන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එමෙන්ම එක්සත් ජනපද විශේෂ බලකායේ 1 වන විශේෂ බලකායේ සහ විශේෂ උපක්‍රම බලඝණයේ හමුදා කණ්ඩායම විසින් එක්සත් ජනපද බලඇණිය නියෝජනය කරයි.

වජ්ර ප්‍රහර් ඒකාබද්ධ අභ්‍යාස මාලාවේ අරමුණ වන්නේ ඒකාබද්ධ මෙහෙවර සැලසුම් කිරීම සහ මෙහෙයුම් උපක්‍රම වැනි ක්ෂේත්‍රවල හොඳම භාවිතයන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමයි.එමෙන්ම දෙරටෙහිම විශේෂ බලකායන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

හමුදා දෙකෙහිම කණ්ඩායම් එක්ව කඳුකර ප්‍රදේශයන්හි සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන අවස්ථා වලදී විශේෂ මෙහෙයුම්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම්, ගුවන් මෙහෙයුම් මාලාවක් පුහුණු කිරීම, සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම් මෙම අභ්‍යාසය අතරතුර,සිදු කරනු ඇත.

මෙම අභ්‍යාසයේ 12 වන අදියර 2021 ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි ලුවිස් මැකෝර්ඩ් හමුදා කඳවුරේදී පවත්වන ලදී.මෙම වාර්ෂික අභ්‍යාසය ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට පවත්වනු ලැබේ.

මෙම ඒකාබද්ධ අභ්‍යාසය මගින් ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත් පියවරක් යැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.තවද ජාතීන් දෙකෙහිම විශේෂ බලකායන් අතර මිත්‍රත්වයේ සම්ප්‍රදායික බැඳීම ශක්තිමත් කිරීමට අවකාශ සලසන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්