උත්සව සමයට ‘ආණ්ඩුව අඩුවට දෙන්නේ’ නාඩු – කැකුළු පමණයිලු

Spread the love

එලබෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු සුපිරි වෙළදසැල්, සතොස, සමුපකාර වෙළදසැල්වලට අප්‍රේල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදිමට පියවරගෙන තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (25) ප‍්‍රකාශ කළා. ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 97කට ද සුදු හා රතු කැකුළු කිලෝවක් රුපියල් 95කට ද අලෙවි කිරිමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.

සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග පැවැති සාකච්ඡුාවකදීයි මේ තීරණය ගෙන තිබෙන්නේ. එහිදි අදාල මිල ගණන් යටතේ වි අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමට ඔවුන් එකඟ වී තිබෙනවා. මාස තුනකට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශිය වෙළදසැල් 4000 ක ජාලය හරහා දිවයින පුරා මිලට ගැනිමට ලබන පළමු වනදා සිට අවස්තාව හිමිවන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ.

එහෙත් මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ පාරිභෝගිකයින් පැවසුවේ මේ තීරණය ගැන තමන් කිසිසේත් සෑහීමට පත් නොවන බවයි.

‘අපිට තියෙන ප‍්‍රශ්නේ නාඩු ගැන නෙමෙයි. සම්බා සහල් ගැන. ආණ්ඩුවට කියන්න පුළුවන් සම්බා කන්නේ මේච්චරයි මෙච්චරයි කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. අද සම්බා ඇටයක් දකින්න නැහැ. පොඩි දරුවෝ නාඩු සහල් වල බත් කන්න කැමැති නැහැ. ඒ හාල්වලින් බත් බඳින්න බැහැ. පසුවෙලා කන්න බැහැ. අද සම්බා කිලෝවක් අපිට දරා ගන්න බැරි මිලකටයි අලෙවි වෙන්නේ. අනික අලූත් අවුරුද්ද කියන්නේ උත්සව සමයක්. ඒ කාලේ කිසිම ගේක නාඩු උයන්නේ නැහැ. නෑයෙකුට, යාළුවෙකුට බත් ටිකක් දෙන්න නාඩු හාල් වලින් බැහැ. පසුගිය කාලේ පුරාම සිද්ධ වුණේ ඒකයි. අනික් අතින් කීරි සම්බා වාගේ සහල් ගැන කතා කරලා පළක් නැහැ. ඒවායේ මිල අහස උසට. මේ කතා කරන්නේ වෙන අවුලක කියලා අපිට හොඳට තේරෙණවා’

අප සමග අදහස් දැක්වූ කඩවත ප‍්‍රදේශයේ කාන්තාවක් කියා සිටියා. ඇය එහිදී පෙන්වා දුන්නේ උත්සව සමයේ වැඩියෙන් අලෙවි වෙන්නේ සම්බා සහල් සහ කීරි සම්බා වැනි සහල් බවයි. නාඩු සහ කැකුළු සහල් මිල අඩු කිරීම නිෂ්ප‍්‍රයෝජන බවයි ඇය පැවසුවේ.

මෙහිදී අප කළ විමසීමකට පිළිතුරු දෙමින් කලූතර ප‍්‍රදේශයේ කාන්තාවක පැවසුවේ සතොස, සමූපකාර හෝ සුපිරි වෙළෙඳසැල් හරහා රටටම කන්න දෙන්න පුළුවන් යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය විහිළුවක් බවයි. ‘මේක ඇත්තටම විකාර කතාවක්. සතොස වෙළෙඳසැල් තියෙන්නේ කීය ද? සමූපකාර ගැන අපි කතා කරන්නවත් කැමැති නැහැ. ඒවා හරහා රටකට කන්න දෙන්න පුළුවන් කියලා හිතන එකම තක්කඩිකමක් කියලයි අපි කියන්නේ. ලංකාවේ සිල්ලර වෙළෙඳාමෙන් සතොසට සියයට එකක්වත් නැහැ. අනික නගරෙකට එකක් තමයි සතොස තියෙන්නේ. සමූපකාරේ කියන්නේ ඇත්තටම යල්පැනගිය තැනක්. ඒත් සාමාන්‍ය ජනතාව ගනුදෙනු කරන්නේ ගමේ හෝ නගරයේ සිල්ලර වෙළෙඳ සැල සමග. ඒවායේ තමයි බඩුමිල අහස උසට තියෙන්නේ. අපි කියන්නේ සතොස – සමූපකාරේ හරහා කරන මේ විහිළුව නතර කරන්න කියලා. අද මුංඇට කිලෝවක් රුපියල් 800යි. පොල්තෙල් ලීටරේ රුපිටල් 800යි. කහ සීය රුපියල් 360යි. මේවා මීට වසරකට පෙර දරාගත හැකි මිලකට තිබුණේ. මේ සිංහල අවුරුද්දට දරුවන්ට මුංඇට කැවුමක් හදලා දෙන්න බැරි වෙයි. නෑයෙක්ට කෑම වේලක් දෙන්න බැරි වෙයි’

මේ සම්බන්ධයෙන් අප කළ විමසීම්වලට පිළිතුරු දුන් ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා කියා සිටියේ සතොස – සමූපකාරය හරහා ආහාර මිල පාලනයට යාම දේශපාලනඥයින් නිතර නිතර කියන කතාවක් වුවත් එය කිසිදු වැදගත්කමක් නැති නිෂ්ප‍්‍රයෝජන වැඩක් බවයි.

‘‘ලංකාවේ සිල්ලර වෙළදාමෙන් සියයට එකකටත් අඩු ප‍්‍රතිශතයක් තමයි සතොස – සමූපකාරය නියෝජනය කරන්නේ. ඒවායේ භාණ්ඩවල ප‍්‍රමිතිය, පාරිභෝගික සත්කාර ගැන කිසිම පාරිභෝගිකයෙක් තුළ තෘප්තිමත්භාවයක් නැහැ. අනික ග‍්‍රාමීය ජනතාව, නාගරික හා අර්ධනාගරික ජනතාව මෙන්ම අදායම් මට්ටම අනුව ද භාණ්ඩ මිලදී ගැනීමේ රටාවක් තිබෙනවා. ඇතැම් පිරිස් බොහෝ විට භාණ්ඩ මිලදී ගන්නේ ගමේ හෝ නගරයේ සිල්ලර කඩයෙන්. ඒ මාසය අන්තිමට ගෙවන පදනමට. ‘පොතට ගන්නවා’ කියන්නේ ඒකට. මේ පිරිසට කඩහිමියා නියම කරන මිලට භාණ්ඩ මිලදී ගැනීමට සිදුවෙනවා. මාසික වැටුප් ලබන අඩු ආදායම්ලාභීන් මේ පොතට බඩු ගැනීමට වැඩි වැඩියෙන් යොමුවෙලා සිටිනවා. ඒ වගේම දෛනික ආදායම් උපයන පිරිස් භාණ්ඩ මිලදී ගැනීමේ රටාව වෙනස්. මේ ගැන කිසිම සොයා බැලීමක් රට තුළ සිදුව නැහැ. ඒ ගැන කිසිම සංවේදීකමක් නැති දේශපාලනඥයින් සහ නිලධාරීන් ගන්නා ඊනියා තීන්දු නිසා අවසානයේ පීඩාවට පත්වන්නේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභීන්’

මේ අතර කෘෂිකර්ම ඇමැතිවරයා සම්බා ගැන කතා නොකිරීම ගැන තමන් පුදුම නොවන බවයි වී මිලදී ගැනීමේ යාන්ත‍්‍රණය ගැන වැටහීමක් ඇති බොහෝ දෙනකු පැවසුවේ. ‘ආණ්ඩුව කියන විදිහට වත්මන් වී මිලදී ගැනීම තුළ නාඩු සහ සම්බා මිලදී ගැනීම සිදුවෙන්නේ එකම මිලකට. ඒ කියන්නේ රුපියල් 56.50කට. ඒ කියන්නේ දැන් ගොවියට නාඩු වවන එක සම්බා වවනවාට වඩා වාසියි. මොකද සම්බා වලට වඩා වැඩි අස්වැන්නක් නාඩුවලට ගන්න පුළුවන්. අපි මොන කතා කිව්වත් වී වගාකරුවා බලන්නේ තමන්ගේ පුද්ගලික වාසිය විතරයි. පොහොර සහනාධාරය, වතුර සියල්ල නොමිලේ ලැබුණත්, ඉහළම මිලකට වී මිලදී ගත්තත් වී වගාකරුවා බලන්නේ පුද්ගලික වාසිය. ඒ නිසා ඊළඟ කන්නේ වෙන කොට අපිට සම්බා සහල් ඇහැට දකින්නවත් බැරි වෙයි’

Related Posts