ඉන්ධන මිල වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Spread the love

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි. බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ආණ්ඩුව ඉන්ධන සඳහා යම් සහනයක් ලබා දුන්නොත් මිල ඉහළ දැමීමකට යාමට නොවනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

‘‘පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැහැ. ලෝක වෙළඳපල තුල භාණ්ඩ මිල තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ බලය අනුව නොවෙයි. ලෝක වෙළඳපලේ මිල ඉහළයාමෙන් සිදුවන පාඩු දිගින් දිගටම දරාගැනීමේ හැකියාවක් රජයට නැහැ. ඉන්ධන සඳහා රජයෙන් සහනයක් ලබා නොදුන්නොත් මෙම මාසයේදී තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1,000ක පාඩුවක් සිදු වෙනවා. එවැනි තත්වයක් හමුවේ මිල ඉහළදැමීමකින් තොරව පවත්වාගෙන යා නොහැකියි‘‘

මෙහිදී අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා කියා සිටියේ මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවත් පවතින තත්වය අනුව ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

‘‘මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක්, ඩීසල්වලින් රුපියල් 31.46ක් පාඩු ලබනවා. අගෝස්තු 31 වනදා වනවිට රුපියල් බිලියන 70ක පාඩුවක් සංස්ථාව ලබා තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීම කළ යුතු බවයි අපේ ස්ථාවරය වන්නේ‘ යැයි ද සභාපතිවරයා කීවේය.

මේ අතර අද පැවැති ජනමාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ ඩීසල් රුපියල් 32/-කින් සහ පෙට්‍රල් 14/-කින් ඉහළ දැමීමට රජය සූදානම් වන බවයි.

Related Posts