ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී නෝර්වේ, අයිස්ලන්තය සහ මෝල්ටාවේ යන රටවල් ත්‍රිත්වයේ සංචාරයක් ආරම්භයි.

Spread the love

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකී විසින් අගෝස්තු 16-18 දක්වා නෝර්වේ රාජ්‍යයේත්,අගෝස්තු 19-20 දක්වා අයිස්ලන්තයෙත්, අගෝස්තු 21-23 දක්වා මෝල්ටාව ආවරණය වන පරිදි රටවල් ත්‍රිත්වය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් සංචාරය කරනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බදාදා දින සංචාරය පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය ඇනිකන් හියුට්ෆෙල්ඩ් හමුවීමට නියමිත බවයි. එමෙන්ම ඇය අරෙන්ඩාල් නගරයේදී දේශගුණ හා පරිසර අමාත්‍ය එස්පන් බාර්ත් ඊඩ් මහතා සමඟ ඉන්දියාව-නෝර්වේ හරිත බලශක්ති සහයෝගීතාව පිළිබඳ විද්වත් සාකච්ඡාවකට ද සහභාගී වනු ඇත.

ඇය අයිස්ලන්තයේ රෙක්ජවික්හි රැඳී සිටින කාලය තුළ එරට විදේශ කටයුතු අමාත්‍ය තෝර්ඩිස් කොල්බෲන් ගිල්ෆඩොටිර් මෙන්ම සංස්කෘතික සහ ව්‍යාපාරික කටයුතු අමාත්‍ය ලිල්ජා ඇල්ෆ්‍රෙඩ්ස්ඩොට්ටිර් සමඟ සාකච්ඡා කරනු ඇත. එමෙන්ම ඇය අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ කථානායක බර්ගිර් අර්මන්සන් මහතා හමුවීමට ද නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකීගේ සංචාරයේ අවසාන ගමනාන්තය ලෙස මෝල්ටාවට පැමිණීමට නියමිතය. එහිදී මෝල්ටාවේ ජනාධිපති ජෝර්ජ් වෙල්ලා හමුවනු ඇත. මෙම හමුව එරට ජාතික අගනුවර වන වැලට්ටාහිදී සිදුවනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එමෙන්ම ඇය එරට විදේශ හා යුරෝපීය කටයුතු සහ වෙළඳ අමාත්‍ය ඉයන් බෝර්ග් සමඟ සාකච්ඡා කරනු ඇත. ඇය මෝල්ටා සංචාරක අමාත්‍යවරයා මෙන්ම ජාතික උරුමයන්, කලා කටයුතු සහ පළාත් පාලන අමාත්‍යවරයා ද හමුවීමට නියමිත බව වාර්තා වේ.

ද්විපාර්ශ්වික රැස්වීම්වලට අමතරව, ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය විසින් ඉන්දියානු ඩයස්පෝරාවේ සාමාජිකයින් හමුවීමට නියමිත බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සංචාරය ද්විපාර්ශ්විකව සහ බහුපාර්ශ්වික සංසදවලදී රටවල් තුන සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇති බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts