ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී මෙම සතිය මුලදී ජෝර්ජියානු විදේශ අමාත්‍ය ඉලියා ඩාර්චියාෂ්විලි හමුවීය. එම හමුවේදි අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම හමුව පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය පැවසූයේ ජෝර්ජියානු විදේශ අමාත්‍ය ඉලියා ඩාර්චියාෂ්විලි හමුවීම පිළිබඳව සතුටු වන බවයි. එමෙන්ම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් ඇය උණුසුම් සුබ පැතුම් පළ කළාය.

එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වූයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයම තම කැපවීම ප්‍රකාශ කළ බවයි. තවද ඉන්දීය සිසුන් සහ ගොවීන් සම්බන්ධ ගැටළු පිළිබඳව ද සාකච්ඡා කළ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඉන්දීය සහ ජෝර්ජියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 30 වැනි සංවත්සරය සැමරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී ඔක්තෝබර් 10-11 දිනවල ජෝර්ජියාවේ නිල සංචාරයක නිරත විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දක්වන අන්දමට, ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී එරට පාර්ලිමේන්තුවේ පළමු නියෝජ්‍ය සභාපති ජෝර්ජ් වොල්ස්කි, ඉන්දියා-ජෝර්ජියා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති ජෝර්ජි අමිලක්වාරි සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ඉරක්ලි ගිවියාෂ්විලි මහතා ද හමු විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනික සහ වෙළඳ සහ ආර්ථික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට මෙම සාකච්ඡාවලදී දෙපාර්ශවය එකඟ වී ඇත.

ජෝර්ජියාවේ කෘෂිකාර්මික අංශයේ සේවය කරන ඉන්දියානු ජාතිකයින් සඳහා දිගුකාලීන වීසා බලපත්‍ර ගැටළුව විසඳීමට ජෝර්ජියානු පාර්ශවය සහතික විය.

ටිබිලිසි ප්‍රාන්ත වෛද්‍ය විශ්ව විද්‍යාලය නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී එහි අධ්‍යන කටයුතු වල නිරත වන ඉන්දියානු වෛද්‍ය සිසුන් සමඟ ද සාකච්ඡාවක නිරත විය. එමෙන්ම එම විශ්ව විද්‍යාලයේ කුලපති සහ වැඩබලන රෙක්ටර් මහාචාර්ය සූරාබ් ඔර්ජොනිකිඩ්සේ ද ඇය හමුවිය.

2021 ජූලි මාසයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් විසින් විවෘත කරන ලද මහත්මා ගාන්ධි ප්‍රතිමාවට ද ඇය විසින් පුෂ්පෝපහාර දැක්වීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්