සංචාරක ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර බදාදා නවදිල්ලියේ පැවති නියෝජිත මට්ටමේ සාකච්ඡාවලින් පසුව ඉන්දියා-ඊජිප්තු සබඳතාව දේශපාලන, ආරක්‍ෂක, බලශක්ති, විද්‍යාත්මක සහ ආර්ථික ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නංවා ගැනීමේ තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම හමුවේදී දෙරටේ ආරක්ෂක ක්ෂේත්‍රය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද තීරණය විය. ත්‍රස්තවාදයට එරෙහි තොරතුරු සහ බුද්ධි වාර්තා හුවමාරු කර ගැනීම ද දෙපාර්ශවය විසින් වැඩි කරනු ඇත.

ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් පිරීම නිමිත්තෙන් මෙම වර්ධනය විශේෂයෙන් වැදගත් වේ.

මීට අමතරව, දෙපාර්ශවයම බහුපාර්ශ්වික සංසදවල, විශේෂයෙන් ජී-20 සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ. ඉන්දියාවේ ජී-20 සඳහා ඊජිප්තුව ආගන්තුක රටකි.

අගමැති මෝදි සහ ජනාධිපති එල්-සිසි ද පහත අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගත්හ.

  • ඉන්දියානු පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම සහ ඊජිප්තු පරිගණක හදිසි සූදානම කණ්ඩායම අතර සයිබර් ආරක්ෂණ ප්‍රදේශයේ අවබෝධතා ගිවිසුම.
  • ඉන්දියාව සහ ඊජිප්තුව අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල සහයෝගීතා ගිවිසුම.
  • ඉන්දියාව සහ ඊජිප්තුව අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම.
  • ඉන්දියාව සහ ඊජිප්තුව අතර තරුණ කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
  • ඉන්දියාවේ ප්‍රසාර් භාරති සහ ඊජිප්තුවේ ජාතික මාධ්‍ය අධිකාරිය අතර විකාශනය පිළිබඳ සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුම.

ඉන්දු-ඊජිප්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 75 වැනි සංවත්සරයේ සන්ධිස්ථානය සනිටුහන් කරමින් සමරු තැපැල් මුද්දර හුවමාරු කර ගැනීම ද නායකයින් දෙපළ සිදු කළහ.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු විසින් ඊජිප්තු ජනාධිපති එල්-සිසිව රාෂ්ට්‍රපති භවන්හිදී චාරිත්‍රානුකූලව පිළිගනු ලැබීය. මහත්මා ගාන්ධිට ගෞරව දැක්වීම සඳහා ඉන්දියාවේ සංචාරයක නිරත ඊජිප්තු ජනාධිපතිවරයා රාජ්ගාට් වෙත මල් වඩමක් ද තැන්පත් කළේය.

ඊජිප්තු ජනාධිපතිවරයා සිය දෙවන රාජ්‍ය සංචාරය සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. ඔහු ජනවාරි 26 වැනිදා නවදිල්ලි නුවර ජනරජ දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්