ඉන්දියා-ස්විට්සර්ලන්ත විදේශ කාර්යාල උපදේශන 11වැනි වටය අඟහරුවාදා දින නව දිල්ලියේ දී පැවැත්විණ. මෙම උපදේශන වටයේ දී වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ ද්විපාර්ශික සබඳතා සමාලෝචනය කිරීම දෙපාර්ශවය විසින් සිදුකරන ලදී.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය ඩිජිටල්කරණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන්දියාව-ස්විට්සර්ලන්ත ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුම සහ ඉන්දියාව-යුරෝපීය නිදහස් වෙළඳ සංගමය,වෙළඳ හා ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම පිළිබඳ සාකච්ඡාවල ප්‍රගතිය දෙපාර්ශවය සැලකිල්ලට ගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳාම එක්සත් ජනපද ඩොලර් බිලියන 30 ඉක්මවා ඇති බව මෙම සාකච්ඡාවලදී අනාවරණය කෙරිණ. එමෙන්ම වෙළඳාම විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම හා සදහා ඇති ශක්‍යතාවය අධ්‍යයනය කිරීමට දෙපාර්ශවය එකග විය.

ස්විස්ටර්ලන්තය මූලික කරගත් ඉංජිනේරු, සේවා, නිරවද්‍ය උපකරණ, රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ වැනි අංශවල සමාගම් 330 කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවේ ව්‍යාපාර කටයුතු වල නියුක්ත වේ. එමෙන්ම තොරතුරු තාක්ෂණ, ඖෂධ සහ යන්ත්‍රෝපකරණ වැනි අංශවල ඉන්දීය සමාගම් ස්විට්සර්ලන්තයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වේ.

නවෝත්පාදන, ඩිජිටල්කරණය, සංචාරක, නිපුණතා සංවර්ධනය, විද්‍යාව සහ තාක්‍ෂණය මෙන්ම කලා සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්විණියි යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දක්වන ආකාරයට දෙපාර්ශවය බහුපාර්ශ්වික සහ කලාපීය ගැටළු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ. මෙයට එක්සත් ජාතීන්ගේ සහයෝගීතාව, ඉන්දියාවේ එළඹෙන ජී-20 සභාපති ධුරය සහ යුක්රේනයේ තත්වය ඇතුළත් විය.

එමෙන්ම දෙපාර්ශ්වයම සංස්කෘතික හා ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනයට එකඟ විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි වසර සැමරීම ලබන වසරේ පැවැත්වීමට දෙරට අපේක්ෂා කරයි.

ද්විපාර්ශ්වික සබඳතාවල වේගය පවත්වා ගැනීම සඳහා ඒකාබද්ධ ආර්ථික කොමිෂන් සභාව, දුම්රිය සහ පරිසරය පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් සහ මූල්‍ය සංවාදය වැනි ආයතනික යාන්ත්‍රණවල ඉහළ මට්ටමේ හුවමාරු සහ නිරන්තර රැස්වීම් දිගටම කරගෙන යාමට දෙපාර්ශවය එකඟ විය.

මෙම උපදේශන වල දී ඉන්දීය පාර්ශවය නියෝජනය කරනු ලැබූයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ලේකම් සංජය වර්මා විසින් වන අතර ස්විට්සර්ලන්තය වෙනුවෙන් සම සභාපතිත්වය දරනු ලැබුවේ ස්විස් ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් ලිවියා ලියු විසිනි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්