ඉන්දියාව සහ බංග්ලාදේශය නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට එකඟ වී ඇත. ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් සහ බංග්ලාදේශ වාණිජ කටයුතු අමාත්‍ය තිපූ මුන්ෂී අතර බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මෙම හමුවේදී දෙපාර්ශ්වයම ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පුළුල් සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ලෙස නිල වශයෙන් විස්තර කෙරෙන නිදහස් වෙළඳ ගිවිසුම මගින් , නව රැකියා උත්පාදනය, ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ශ්‍රමිකයනට පුළුල් සමාජ හා ආර්ථික අවස්ථා ලබා දෙනු ඇත. මෙම හවුල්කාරිත්වය විශ්වාසදායක සහ තිරසාර කලාපීය වටිනාකම් දාමයන් ස්ථාපිත කරනු ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අමාත්‍යාංශයට අනුව, ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමක් ගවේෂණය කිරීම සඳහා දෙරට එකඟ වීමෙන් පසු විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම පිළිබඳ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇත. දෙරට අතර වෙළඳ සහ වාණිජ හවුල්කාරිත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම සඳහා විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම හොඳ පදනමක් සපයනු ඇතැයි අධ්‍යයනයෙන් තහවුරු විය.

තීරුබදු නොවන බාධක ඉවත් කිරීම සහ වරාය සීමා කිරීම්, දේශසීමා යලි විවෘත කිරීම, දෙපාර්ශවයේම ප්‍රමිති සහ ක්‍රියා පටිපාටි එකමුතු කිරීම සහ අන්‍යෝන්‍ය පිළිගැනීම, ඉන්දියානු රුපියල් වලින් වෙළඳාම් පියවීම, සම්බන්ධතාව සහ වෙළෙඳාම ශක්තිමත් කිරීම,යටිතල පහසුකම්, ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන විවිධ කරුණු පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළහ.

රැස්වීම අතරතුර මතු වූ ගැටළු විසඳීමට සහ 2022 සැප්තැම්බර් මාසයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ බංගලාදේශ අගමැති ෂීක් හසීනා විසින් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම සඳහා දෙපාර්ශ්වයම එක්ව කටයුතු කිරීමට එකඟ වූ බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පැවසීය.

බංග්ලාදේශය ඉන්දියාවේ 6 වැනි විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන අතර දකුණු ආසියාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වේ. තවද, ඉන්දියාව බංග්ලාදේශයේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරු වේ.