නිදහස්, විවෘත සහ ස්ථාවර ඉන්දු-පැසිෆික් කලාපයක වැදගත්කම ඉන්දියාව සහ නවසීලන්තය නැවත අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ඉන්දියාව සහ නවසීලන්තය අතර 4 වන විදේශ අමාත්‍යාංශ උපදේශනය සාකච්ඡා වටය නවදිල්ලි නුවරදී පැවැත්විණි. එහිදී ඉන්දු පැසිෆික් කලාපයේ සමීප සහයෝගීතාවයේ අවශ්‍යතාවය ඉස්මතු කරමින් දෙපාර්ශවයම නිදහස්, විවෘත සහ ස්ථාවර ඉන්දු-පැසිෆික් කලාපයක වැදගත්කම අවධාරණය කළේය.

මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී දෙපාර්ශ්වය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා, වෙළෙඳ හා ආයෝජන,ආරක්‍ෂාව සහ ජනතාව අතර සබඳතා, ත්‍රස්තවාදයට එරෙහි වීම, සයිබර් ආරක්‍ෂාව සහ නිරායුධකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සමාලෝචනය කරන ලද බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවල සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව ද සාකච්ඡා කරන ලද බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම වෙළඳ වාණිජ ඇතුළු විවිධ ක්ෂේත්‍ර පුරා පැතිර පවතින සම්බන්ධතා පුළුල් කිරීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළ කළහ.

නවසීලන්ත පාර්ශවය වෙනුවෙන් නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ඇමරිකා සහ ආසියා සමූහයේ නියෝජ්‍ය ලේකම් මාර්ක් සින්ක්ලෙයාර් මහතා විසින් මෙහෙයවන ලදී. ඉන්දීය දුත පිරිසට එම සාකච්ඡා සඳහා නායකත්වය සැපයූවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර කටයුතු භාර ලේකම් සෞරබ් කුමාර් විසිනි.