ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර ලබාදීමේදී ඉන්දියාව ඉදිරියෙන්ම සිටින බවත් එය ඉදිරියටත් සිදුකරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ. අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව යළිත් අවධාරණය කර ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක අරින්දම් බග්චි මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවයි. ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර ලබා දී ඇති රටවල් වලින් ඉන්දියාව ඉදිරියෙන්ම සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා පිළිබඳ කළ විමසුමකට පිළිතුරු දෙමින් බග්චි පැවසුවේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව හරහා මෙම සංක්‍රාන්තිය සිදු වී ඇති බවයි. එමෙන්ම මෙය පාර්ලිමේන්තු ක්‍රියාවලියක් බවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් දැනටමත් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

මේ අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සඳහා නිශ්චිත ආර්ථික පැකේජයක් අපේක්ෂා කරන්නේ දැයි විමසූ විට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසුවේ ශ්‍රී ලංකාවට ව්‍යවස්ථානුකූලව නව ජනාධිපතිවරයෙක් පත්ව සිටින අතර ඔවුන් රජයක් පිහිටුවීමට ඉදිරි පියවර ගනු ඇති බවයි. ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වා ඇති බව අරින්දම් බග්චි පැවසීය. ඉන්දියාව අවස්ථා කිහිපයකදී විවිධ අයුරින් ශ්‍රී ලංකාවට ආධාර ලබාදී ඇති බව ඔහු පැවසීය. එම ආධාර වලින් සමහරක් ප්‍රයෝජනයට ගෙන තිබෙන බවත් සමහර ඒවා සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.

නිදහසින් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන අසීරුතම ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව මේ වසරේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.8 කට වඩා පෙර නොවූ විරූ සහයෝගයක් ලබා දී ඇත.වෙනත් කිසිම රටක් ශ්‍රී ලංකාවට මෙම “සහයෝගය” ලබා දී නොමැත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්