‘ඉන්දියාව ක්‍රිප්ටොකරන්සි’ තහනම් කිරීමට සැරසෙයි

Spread the love

ඉන්දියාව කලෙක පටන් බලාපොරොත්තුවෙන් සිටි පනතක් යටතේ එරට භාවිතා වන බොහෝ ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් කිරීමට සූදානම්ව සිටියි.

රජය ඩිජිටල් මුදල් පිළිබඳ සිය දැඩි ස්ථාවරය මෘදුකර ඇතැ යි යන අපේක්ෂාවක් පසුගිය මාස කීපය තුළ දී වර්ධනය වී තිබුණි.

මෙම තහනම සියලුම පුද්ගලික ක්‍රිප්ටොකරන්සි ඒකක සඳහා බලපැවැත්වෙනු ඇති නමුත්, ඒවාට පාදක වූ තාක්‍ෂණය සහ එහි භාවිතයන් ප්‍රවර්ධනයට අවසර ලැබෙන ඇතැම් ව්‍යතිරේකයන් ද මෙහි ඇතුළත් වේ.

මෙම පනතේ අනාගතය පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු, ඉන්දියානු ක්‍රිප්ටොකරන්සි හුවමාරු අඩවිවල ක්‍රිප්ටොකරන්සි මිල පහත වැටුණි.

“ක්‍රිප්ටොකරන්සි පනත”

ඉන්දීය රජය ප්‍රකාශ කරන පරිදි මෙම තහනම යෝජිත ‘ක්‍රිප්ටොකරන්සි සහ නිල ඩිජිටල් මුදල් නියාමන’ පනතෙහි කොටසක් වන අතර, එය ඉන්දීය පාර්ලිමේන්තුවේ සීත සෘතු සැසියේ දී හඳුන්වා දෙනු ඇත.

මේ නව නීති සම්පාදනය මඟින්, “ඉන්දියානු මහ බැංකුව (RBI) නිකුත් කිරිමට බලාපොරොත්තුවන නිල ඩිජිටල් මුදල් ඒකකයක් නිර්මාණය කිරීම පහසු කරවන රාමුවක් නිර්මාණය කිරීමට” අරමුණු කරයි.

සියලුම පුද්ගලික ක්‍රිප්ටොකරන්සි තහනම් කිරීමේ මේ නව සැලැස්ම, පසුගිය ජනවාරියේ දී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතට අතිශයින්ම සමානබව පෙනෙන්නට තිබේ.

මෑත මාසවල දී රජය ක්‍රිප්ටොකරන්සි පිළිබඳ සිය ස්ථාවරය ලිහිල් කරනු ඇතැ යි බොහෝදෙනා සිතූ අතර, ඇතැම්විට ඒවා ගෙවීමේ මාධ්‍යයක් නොව වත්කම් ලෙස නියාමනය කිරීමට උත්සාහ කරනබව විශ්වාස කළෝ ය.

පනත පිළිබඳ ඇති විස්තරය වෙනස් නොවුණත්, නවතම කෙටුම්පත තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැති නිසා එයට සිදුකර ඇති වෙනස්කම් තවමත් තහවුරුකර ගැනීමට නොහැකි වී තිබේ.

වෙළඳපොළට ඇතිවන බලපෑම

පනත පිළිබඳව නිවේදනය කෙරුණු වහාම ඩිජිටල් මුදල් ඒකකයන් කීපයකම වටිනාකම පහත වැටී ඇතැ යි වාර්තා වේ.

ඉන්දියානු ක්‍රිප්ටොකරන්සි හුවමාරු අඩවියක් වන WazirXහි දී බිට්කොයින් වටිනාකම 13%කින් පහළ ගිය අතර, ශිබා ඉනූ සහ ඩෝජ්කොයින්වල වටිනාකම 15%කින් පහත වැටී තිබේ.

කෙසේ වෙතත් ‘The Crypto Trader’ නම් කෘතියේ රචක ග්ලෙන් ගුඩ්මන් BBC සමග ප්‍රකාශ කළේ, මෙයින් ගෝලීය වශයෙන් ඇතිවිය හැකි බලපෑම “සාපේක්ෂව අවමබව” යි.

“චීනය ක්‍රිප්ටොකරන්සි තහනම් කරන්න තීරණය කරපු වෙලාවෙත් – ඒක ඒ දවස්වල හරිම ලොකු සිද්ධියක් – ඒකට ක්‍රිප්ටො වෙළඳපොල සම්පූර්ණයෙන්ම විනාශ කරන්න බැරුව ගියා,” ඔහු පැවසුවේ ය.

A real-world coin designed with the Bitcoin logo lies scattered on a table amid some miniature Chinese flags
සැප්තැම්බර් මාසයේ දී චීන මහ බැංකුව නිවේදනය කළේ ක්‍රිප්ටොකරන්සිවලින් සිදු කරන සියලු ගනුදෙනු නීතිවිරෝධී වන බවයි

India Today මාධ්‍ය ආයතනය ඉදිරිපත් කළ වීඩියෝ වාර්තාවකට අනුව, ක්‍රිප්ටොකරන්සි පරිශීලකයන් යම් යම් අවශ්‍යතා සැපිරූ හුවමාරුවලින් ඩිජිටල් විනිමය මිල දී ගන්නා තෙක්, යෝජිත බිල්පත යටතේ ක්‍රිප්ටොකරන්සි වෙළඳාම දිගටම පවත්වාගෙන යෑමට ඉඩකඩ තිබේ.

එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ, ආයෝජකයින් ආරක්ෂා කිරීම සඳහා, ක්‍රිප්ටොකරන්සි නිර්මාණය කිරීමට අවසර ලබන්නේ කවුද යන්න මත සිමා පැනවීම කෙරෙහි මෙම පනත මඟින් අවධානය යොමු කරනු ඇතිබව යි.

‘මහ බැංකුවට බරපතල ගැටලු’

CoinDesk නම් වෙබ් අඩවිය පවසන පරිදි, RBI, එනම් ඉන්දීය මහ බැංකුවට ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් ඇත්තේ ගතානුගතික මතයන්යැ යි සැලකේ.

2020 වසරේ මාර්තුවේ දී, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය මහ බැංකුව විසින් වසර දෙකක් පුරා ඩිජිටල් මුදල් වෙළඳාමට පැනවී තිබූ තහනමක් අවලංගු කළේ ය.

පසුගිය සතියේ මහ බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස් පැවසුවේ, “සාර්ව ආර්ථික හා මූල්‍යමය ස්ථාවරත්වය අතින් සලකා බැලූකල බරපතල ගැටලු” බැංකුවට මතුවූබව යි. බ්ලොක්චේන් තාක්ෂණයට ක්‍රිප්ටොකරන්සිවලින් තොරව ද දියුණු විය හැකියැ යි ඔහු පැවසුවේ ය.

කෙසේ නමුත්, කතුවර ගුඩ්මන් චීනය මෑතක දී ක්‍රිප්ටොකරන්සි තහනම් කිරීම වෙත ද, එල් සැල්වදෝරය ක්‍රිප්ටොකරන්සි අරමුදල් ලෙස යොදාගෙන ගිනි කන්දක් පාමුල බිට්කොයින් නගරයක් පිහිටුවීමට සැලසුම් කිරීම වෙත ද අවධානය යොමුකළේ ය.

“රජයයන් [ක්‍රිප්ටොකරන්සි] සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ එකිනෙකට බෙහෙවින්ම වෙනස් ප්‍රවේශයන්,” ඔහු පැවසීය. “ඔවුන් ඒක තර්ජනයක්, වාසිදායක අවස්ථාවක්, හෝ ඒ දෙකට අතරමැද යමක් ලෙස දකින්න පුළුවන්.”

කතුවර ගුඩ්මන් පවසන්නේ, චීන රජයට අවශ්‍යව ඇත්තේ තමා නිපදවන ඩිජිටල් මුදල් ඒකකය හැරුණු විට අනෙකුත් සියලුම ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් කිරීමටබව යි.

“ඒ අයට ඕනේ ක්‍රිප්ටොකරන්සි පාලනය කරන්න. මට පේන්නේ ඉන්දියානු රජයට ඇතිවෙලා තියෙන්නේ ඒ අදහසම යි.”

“මේ අය හිතන්නේ, ‘හොඳයි, චීනේ එහෙම කරනවා නම් අපිටත් එහෙම කරන්න පුළුවන්’ කියලා.”

bbc sandasaya

Related Posts