බුදුරජාණන් වහන්සේගේ ශුද්ධ වූ කපිල්වස්තු ධාතූන් වහන්සේ සතර මොංගෝලියාවේ උලාන්බාතාර් වෙත ළඟා වී තිබේ.මොන්ගෝලියානු බුද්ධ පූර්ණිමා උත්සවයේ කොටසක් ලෙස දින 11ක ප්‍රදර්ශනයක් සඳහා මෙම ධාතුන් වහන්සේලා වැඩම කරවා ඇත.

මෙම කපිල්වස්තු ධාතූන් වහන්සේලා සමග ඉන්දීය නීතිය හා අධිකරණ අමාත්‍ය කිරන් රිජිජු ප්‍රමුඛ 25 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මොංගෝලියාවට පිටත් වූ බව ඉන්දීය මධ්‍යම සංස්කෘතික අමාත්‍යාංශය පවසයි. මෙම ධාතුන් වහන්සේලා මොංගෝලියාවේ උලාන්බාටර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මහත් ගෞරවයෙන් හා චාරිත්‍රානුකූලව පිළිගත් බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

මෙම සර්වඥ ධාතූන් වහන්සේ පිළිගැනීමට පැමිණ සිටි පිරිසට මොංගෝලියානු සංස්කෘතික අමාත්‍ය ච් නොමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉන්දීය මොංගෝලියා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති සරංචිමෙග් මහත්මිය ද ඇතුළත් විය. මොංගෝලියාවේ ජනාධිපති උපදේශක ඛම්බ නොමුන් ඛාන් සහ අනෙකුත් ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

මෙම සර්වඥ ධාතු නවදිල්ලියේ ජාතික කෞතුකාගාරයේ තබා ඇති විශේෂ ධාතු 22 න් කොටසකි.

මෙම කපිල්වස්තු ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට මොංගෝලියානු ජනතාව විශාල පිරිසක් එක් වූ බව ඉන්දීය මධ්‍යම සංස්කෘතික අමාත්‍යාංශය පවසයි. දැනට මෙම සර්වඥ ධාතූන් වහන්සේලා මොංගෝලියාවේ ගන්දන් ආරාමයේ තැන්පත් කර ඇති අතර පුද පූජා සහ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ධාතූන් වහන්සේලා උත්සවාකාරයෙන් පිළිගන්නා ලදී.

ඉන්දියාවෙන් මොංගෝලියාවට ධාතු වැඩමවීමත් සමඟ ඉන්දියාව සහ මොංගෝලියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි රිජිජු මහතා පැවසීය. මෙම ධාතූන් වහන්සේලා අඟහරුවාදා සිට මහජන ප්‍රදර්ශනය ආරම්භ වේ. මොංගෝලියාවේ ගන්දන් ආරාමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ප්‍රදර්ශන අවස්ථාවට මූලිකත්වය ගෙන ක්‍රියා කරයි

මොංගෝලියාවට සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීම ඉන්දියාව පරම්පරා ගණනාවක් තිස්සේ සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතා ඇති ජාතීන් සමඟ ඉන්දියාවේ සබඳතා අලුත් කර ගැනීමේ ඉන්දීය අගමැති මෝදිගේ අභිලාෂයේ කොටසක් වේ.මොංගෝලියාවට ගිය ප්‍රථම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන්නේ අගමැති මෝදියි.

2015 වසරේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ගන්දන් ආරාමයේ ඇති ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව මොංගෝලියාවේ වැසියන්ට පරිත්‍යාග කර ඇත.