ඇස්ට්‍රාසෙනිකා දෙවැනි එන්නත කොට උඩ – ආනයනට අවසර ඉල්ලූ සමාගම් අවුල්

Spread the love

මෙරට ලක්ෂ හයකට දෙවන මාත්‍රාව ලබාදිය යුතුව තිබෙන අස්ට්‍රාසෙනිකා එන්නත්  නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත්  මෙතෙක් ඔවුන්ගෙන්  සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

අද (03) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විදේශ රටවලින් මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීමට  අතරමැදියන් සේ ඉදිරිපත් වුණු  ඇතැම් පෞද්ගලික අංශයේ  සමාගම් ෆලයිවුඩ් තුනීලෑලි ගෙන්වන, කන්ටේනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීවේය. ‘‘ මෙවැනි තත්ත්වයක් තිබුණත් අපි එම එන්නත්  ලබාගැනීමේ උත්සාහය කිසිසේත් අතහැර දමා නැහැ. කොවිඩ් දෙවැනි රැල්ල හරහා ඉන්දියාව මුහුණ දී ඇති තත්වය නිසා  එරට සමාගමෙන් අස්ට්‍රාසෙනිකා එන්නත්  ලබා ගැනීම කළ නොහැකි බව අපි තේරුම් ගත යුතුයි. මීට මුහුණ දීමට ඇති හොදම විකල්පය තමයි අපි එන්නත් නිෂ්පාදනය කිරීම. ඊට අවශ්‍ය මූලික පියවර අපි ගෙන තිබෙනවා.

ඒවගේම තමයි මේ වන විට කොරෝනා  එන්නත්  සඳහා ලෝකය පුරා කළු කඩ වෙළඳ  පොළක් නිර්මාණය වී තිබෙනවා. අපි එයින් ද ප්‍රවේශම් විය යුතුයි. අස්ට්‍රාසෙනිකා එන්නත්  ඩුබායි , අබුඩාබි සාජා , කැනඩාව , ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යනාදි රටවල පෞද්ගලික සමාගම් සතුව ද තිබෙනවා. එම සමාගම්වලින් එන්නත් ගෙන්වීමට මෙරට පෞද්ගලික  සමාගම් ගණනාවක් අතරමැදියන් ලෙස සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒත් අදාළ එන්නත් ආනයනය කරන   මවු සමාගමේ ඒවාදැයි තහවුරු කර ගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි  දැනුම් දුන් අවස්ථාවේ දී ඇතැම් සමාගම්  ඉන් එහාට කටයුතු කරන්නේ නැහැ. එන්නත් ගෙන්වීමේදී  ඒවා නිවැරදි ඒවාදැයි තහවුරු කරගැනීම  රජයක් ලෙස අපේ වගකීමයි. මොකද විදේශ රටවලින් මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීමට  අතරමැදියන් සේ ඉදිරිපත් වුණු  ඇතැම් පෞද්ගලික අංශයේ  සමාගම් ෆලයිවුඩ් තුනීලෑලි ගෙන්වන, කන්ටේනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු ලැබී තිබෙනවා‘‘

Related Posts