ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගය දුරදිග යන ලකුණු

Spread the love

චෝදනා එකොළහක්‌ එල්ල කරමින් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඊයේ (24 දා) සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට භාර දෙන ලදී.

ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් තිස්‌ නව දෙනකු (39) මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ බව රත්නපුර දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ‘දිවයින’ට ප්‍රකාශ කළේය.

මෙම විශ්වාසභංග යෝජනාව හැකි ඉක්‌මණින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර විවාදයට ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද රංජිත් සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීන් සහ ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් රාජිත සේනාරත්න ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව ඡන්දය දෙනු ඇතැයි විශ්වාස කරන බවද රංජිත් සොයිසා මහතා කීවේය.

අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව එල්ල කර ඇති චෝදනා එකොළහ මෙසේය.

I. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව විසින් රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බපරතළ වංචා හා දූෂණ පිළිබඳ විමර්ශනයන්ට සහභාගි නොවීමෙන් යුක්‌තිය ඉටු කිරීමේ අවස්‌ථා අවුරා දමා ඇති හෙයින් ද,

II. එතුමා විසින් එකී විමර්ශනයන්ට මුහුණ දී සිය ප්‍රතිරූපය රැක ගනු වෙනුවට එකී විමර්ශනයන් මග හැරීම හේතුවෙන් එකී චෝදනාවන්ට ඔහු වැරදිකරු බවට ප්‍රබල සමාජ මතයක්‌ ගොඩ නැගී ඇති හෙයින් ද,

III. ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය වාණිජ අරමුණු පෙරදැරි කරගත් ව්‍යාපාරික ප්‍රජාවට බිලි දීම සඳහා රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස උපයෝගී කර ගනිමින් ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය තුළ බරපතළ අර්බුදයක්‌ නිර්මාණය කළ හෙයින් ද,

IV. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බවට ඇමැති මණ්‌ඩලයත් සමස්‌ත ජාතියත් නොමග යවමින් එකී පෞද්ගලික හිමිකාරීත්වයක්‌ ඇති රෝහල මහජන මුදලින් නඩත්තු කිරීමට කටයුතු කර මහජන මුදල් අවභාවිත කර ඇති හෙයින් ද,

V. අභියාචනාකරණයේ දී විභාග වුණු සිඒ රිට්‌ 187/2016 නඩුවේ දී සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස අධිකරණයට ඉදිරිපත් කළ යුතු කරුණු ඉදිරිපත් නොකරමින් ද නීතිපතිවරයා හරහා සයිටම් ආයතනයට පක්‌ෂග්‍රාහීව කරුණු දැක්‌වීමෙන් ද සෞඛ්‍ය ඇමැති ධුරයේ බලය අයුතු ලෙස යොදා ගෙන ඇති හෙයින් ද,

VI. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස්‌ කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ගැසට්‌ මගින් ප්‍රසිද්ධ කිරීම වුමනාවෙන්ම මග හැරීමෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ බරපතළ අර්බුදයක්‌ බිහි කළ හෙයින් ද,

VII. ඩෙංගු වසංගත රෝගී තත්ත්වයක්‌ ඇති වුණු විට එයට ක්‌ෂණික පිළියම් යෙදීමට අසමත් වීමෙන් ද රජයේ රෝහල්වලට ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගැනීම ප්‍රතික්‌ෂේප කිරීමෙන් ද ජනතාවගේ ජීවත්වීමේ පරම අයිතිය බරපතළ ලෙස අවදානමකට ලක්‌ කළ හෙයින් ද,

VIII. පියයුරු පිළිකා රෝගය සඳහා අවශ්‍ය කරන ඖෂධ මිල දී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව විසින් ටෙන්ඩර් කැඳවූ අවස්‌ථාවේ පිළිකා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතික්‌ෂේප කළා වූද මිලදී ගැනීමට පෙර භාවිතයේ පැවැතිය යුතු අවම වසර ගණන සම්පූර්ණ නොකළා වූ ද ඖෂධයක්‌ ඉදිරිපත් කළ විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඉතාම සමීප හිතවතකු වන ඔහු විසින් එකී සංස්‌ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්‌ෂ තනතුරට පත් කළ රූමි මොහොමඩ් මහතා යන අයගේ ඥති සහෝදරයකු වන ඩිල්ෂාඩ් ඉක්‍රම් මොහොමඩ් මහතාට අයත් මෑතක ලියාපදිංචි කළ ෆාමෙස්‌ පෞද්ගලික සමාගමෙන් මිල දී ගැනීමට අයුතු ලෙස බලපෑම් කිරීමෙන් ද රුපියල් මිලියන 986 ක්‌ වටිනා ඖෂධ එකී සමාගමෙන් මිල දී ගැනීමෙන් ද ශ්‍රී ලංකා ආණ්‌ඩුවට මූල්‍ය අලාභයක්‌ ද දූෂණයක්‌ ද සිදුකර ඇති හෙයින් ද,

IX. ධීවර ඇමැති ලෙස කටයුතු කළ සමයේ දී මෝදර ධීවර වරාය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉතාම අඩු මිලකට පෞද්ගලික ආයතනයකට ලබා දීමෙන් රජයට දැවැන්ත මූල්‍ය පාඩුවක්‌ සහ වංචාවක්‌ සිදුකර ඇති හෙයින් ද,

X. ධිවර ඇමැති ලෙස කටයුතු කළ සමයේ දී බ්ලු ඕෂන් ෆීෂරීස්‌ නම් චීන සමාගමට ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ කොන්දේසියක්‌ ලෙස ලාභයෙන් කොටසක්‌ ලබාදෙන මෙන් නියම කිරීමෙන් ද තමන්ගේ ලේකම්වරයකු වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න මහතා එම සමාගමේ අධ්‍යක්‌ෂවරයකු ලෙස පත් කර ගැනීමෙන් ද ඇමැතිවරයකු ලෙස අල්ලස්‌ ගැනීමේ වරද මෙන්ම බලය අයුතු ලෙස භාවිතා කිරීම ද සිදුකර ඇති හෙයින් ද,

XI. නඩු පැවරීම සහ විභාග කිරීම සම්බන්ධයෙන් අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සහ තර්ජනය කිරීමෙන් අධිකරණයේ ස්‌වාධීන්තවය කෙළෙසා ඇති හෙයින් ද,

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පිළිබඳ විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන්ම නොමැති බැවින් තවදුරටත් සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැතිවරයා විසින් එම ධුරයේ කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයභංග වී ඇති බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටියි.

RSL

Related Posts