ඇතැම් ඉහළ පෙළ ක්‍රීඩකයින් Covid එන්නත ලබාගැනීමට මැලි වන්නේ ඇයි?

Spread the love

කොවිඩ් එන්නත්කරණ නීතිරීති හේතුවෙන් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවාක් ජොකොවිච් රඳවා තබාගැනීමේ සිදුවීම දෙස ලෝක අවධානය යොමුව ඇති මොහොතේ, ටෙනිස් ක්‍රීඩක තියාගෝ මොන්ටේරෝ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා අඛණ්ඩව පුහුණුවීම් කටයුතු සිදුකරගෙන ගියේ ය.

ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල අංක 89හි පසුවන මෙම බ්‍රසීලියානු ක්‍රීඩකයාට තරගාවලියේ සිය ස්ථානය අහිමි කරගැනීමේ අවදානම ගත නොහැක්කේ, ඔහුට පළමු වටයේ තරගයට පෙනී සිටීමෙන්ම පමණක් ඩොලර් 100,000ක ත්‍යාග මුදලක් උපයාගත හැකි බැවිනි.

එහෙත් තරගයට පෙර එන්නත ලබාගැනීමට මොන්ටේරෝ පෙළඹවූයේ එන්නත් සම්බන්ධ දැඩි ප්‍රතිපත්තිය නොවේ.

“මම එන්නත ලබාගැනීමට ගත් තීරණය යි, ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය යි අතරේ කිසි සම්බන්ධයක් නැහැ. මම එන්නත ගත්තේ මාත්, අනෙක් අයත් ආරක්ෂා කර ගැනීමේ පියවරක් විදියට යි,” මොන්ටේරෝ බීබීසීයට පැවසුවේ ය.

ඉහළින් ආ විරෝධය

පිරිමි ටෙනිස් ක්‍රීඩාව නියාමනය කරන ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමයට (ATP) අනුව, ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානයන් 100 තුළ සිටින ටෙනිස් ක්‍රීඩකයින්ගෙන් 95%කට වැඩිදෙනෙක් ද, සමස්ත ක්‍රීඩකයින්ගෙන් 80%කට වැඩි පිරිසක් ද මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබේ.

නමුත් ඒ, 2021 ඔක්තෝම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අනිවාර්ය එන්නත් ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කළ දා සිට ය.

එම නිවේදනයට පෙර, එන්නත් ලද ක්‍රීඩකයන්ගේ අනුපාතය 65%කටත් වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි.

කාන්තා ටෙනිස් සංගමය (WTA) විසින් නිකුත් කෙරුණු නවතම සංඛ්‍යාලේඛනවලින් හෙළි වන්නේ ක්‍රීඩිකාවන්ගෙන් 80%කට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව යි. 2022 ජනවාරි 6 වන දා වන විට, කාන්තා ශ්‍රේණිගතකිරීම්වල පළමු ක්‍රීඩිකාවන් සියදෙනා අතරේ මෙය 85%ක් දක්වා වර්ධනය වී තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGESඡායාරූප ශීර්ෂ වැකිය,

බ්‍රසීලයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක තියාගෝ මොන්ටේරෝ පවසන්නේ, තමා එන්නත ලබාගත්තේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය එන්නත අනිවාර්ය කිරීම නිසා නොවන බව යි

ජොකොවිච්ට සිදුවූ දෙයට සමාන සිදුවීම් පැසිපන්දු, ගොල්ෆ්, සහ පාපන්දු ඇතුළු අනෙකුත් ක්‍රීඩාවල ද නිරීක්ෂණය වී ඇත.

නමුත්, ලෝකයේ සිය සෞඛ්‍යය ගැන වඩාත්ම සැලකිලිමත් වන පිරිස අතර සිටින ඇතැම් ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එන්නත ලබාගැනීමට මෙතරම් මැලි වන්නේ ඇයි?

මෙය මොන්ටේරෝට ද පිළිතුරු නැති ප්‍රශ්නයකි.

ඔහු එන්නත් ප්‍රතික්ෂේප කරන තම සගයන්ගේ නම් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරන අතරම, වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විද්‍යාත්මක උපදෙස් ප්‍රශ්න කිරීම තමාට තේරුම්ගත නොහැකියැ යි පවසයි.

“මෙහෙම වෙන්නේ ඇයි කියලා මම ඇත්තටම දන්නේ නැහැ. නමුත් ඒක එන්නත සම්බන්ධයෙන් පැතිරෙන සියලුම වැරදි තොරතුරුවල ප්‍රතිඵලයක් කියලා මම සැක කරනවා,” ඔහු කියයි.

එක්සත් රාජධානියේ සොලන්ට් විශ්වවිද්‍යාලයයේ ක්‍රීඩා මනෝවිද්‍යාඥ ආචාර්ය ඩැරන් බ්‍රිටන් ප්‍රකාශ කරන්නේ, එන්නත් ලබාගැනීමට ඇති පැකිලීම තේරුම් ගැනීමට නම්, පළමුවෙන්ම, ක්‍රීඩක ක්‍රීඩිකාවන් අප බොහෝ දෙනෙකුට වඩා සිය ශරීරය ගැන සැලකිලිමත් වන ආකාරය පරීක්ෂා කළ යුතු බව යි.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු වටිනාම භාණ්ඩය ඔවුන්ගේ ශරීරයයි,” බ්‍රිටන් පැහැදිලි කරයි.

“එන්නත ගැන ප්‍රමාණවත් තොරතුරු ලැබිලා නැතිනම් හෝ, වැරදි තොරතුරු ලැබිලා තියෙනවා නම්, ඔවුන්ගෙන් සමහරෙක් එන්නත් ගැනීමට පසුබට පැකිලෙන්න පුළුවන්.”

“උදාහරණයක් විදියට, මුල දී ඔවුන් බයවෙලා හිටියා එන්නතෙන් ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවට බලපෑමක් වෙයි ද, නැත්නම් තහනම් උත්තේජක පරීක්ෂණවල දී ඒක උත්තේජකයක් විදියට පෙන්වයි ද කියලා,” ඔහු වැඩි දුරටත් පවසයි.

පසුගිය වසරේ ජොකොවිච් ප්‍රකාශකර සිටියේ ඔහු “එන්නත්කරණයට විරුද්ධ” බව යි.

බ්‍රිටන් වැනි ප්‍රවීණයන් විශ්වාස කරන්නේ ජොකොවිච් වැනි ඉහළ පෙළේ ක්‍රීඩකයෙකු ප්‍රසිද්ධියේ එන්නත ප්‍රශ්න කිරීමෙන්, එන්නත ලබාගැනීමට ඇති පැකිලීම ඉහළ යන බව යි. NFL තාරකාවක් වන ඒරන් රොජර්ස් කොවිඩ්-19 එන්නත සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයන් සිදුකර ඇත

එක්සත් ජනපදයේ ජාතික ඇමරිකානු පාපන්දු ලීගයේ ද (NFL) මෙවැනිම තත්ත්වයක් ඇතිවිය.

සිය ක්‍රීඩකයින්ගෙන් 90%කට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා ඇතැ යි පාපන්දු ලීගය පැවසු නමුත්, NFL තාරකාවක් වන ඒරන් රොජර්ස්, කොවිඩ්-19ට එරෙහිව විකල්ප ප්‍රතිශක්තිකරණ ක්‍රමයක් ලෙස හෝමියෝපති වෙදකම භාවිතා කිරීම ප්‍රවර්ධනය කළේ ය.

තමා එන්නත ලබාගත්තැ යි ජනතාව නොමඟ යැවීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ලවිය.

එංගලන්ත පාපන්දු ක්‍රීඩකයන් අතර ද එන්නත් ලබා ගැනීමට පැකිලීමක් ඇතිබවට පෙනෙන්නට තිබේ. කණ්ඩායම තුළ කොවිඩ්-19 පැතිරීම හේතුවෙන් ඔවුන්ගේ තරග කිහිපයක්ම කල් දමනු ලැබුණි.

එක්සත් රාජධානියේ පාපන්දු ක්‍රීඩාවේ පහළ ඩිවිශනයන්ගේ පාලක මණ්ඩලය වන එංගලන්ත පාපන්දු ලීගය විසින් දෙසැම්බර් මස අග දී සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවූයේ, ඒ යටතේ ඇති වෘත්තීය කණ්ඩායම් 72හි ක්‍රීඩකයින්ගෙන් හතරෙන් පංගුවක්ම “එන්නත ලබා ගැනීමට අපේක්ෂා නොකරන” බව යි.

එක්සත් රාජධානියේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළම කොටස වන ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩකයින්ගෙන් 23%ක් මාත්‍රා දෙකම හෝ, පළමු මාත්‍රාව හෝ ලබාගෙන නැත.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් කුමන්ත්‍රණ න්‍යායයන්ට ලේසියෙන්ම ගොදුරු වෙනවා”

“මළල ක්‍රීඩකයින් සුපිරි මිනිසුන් කියල අපි හිතනවා. නමුත් අපි කවුරුත් වගේම ඒ අයත් වැරදි තොරතුරු සහ කුමන්ත්‍රණ න්‍යායයන්වලට ලේසියෙන්ම ගොදුරු වෙන්න පුළුවන්,” නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයයේ ක්‍රීඩා, සෞඛ්‍ය සහ ශරීරය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගැවින් වීඩන් පවසයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් එන්නත් ගැනීමට පැකිලීම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන නව අධ්‍යයන වැඩසටහනක සම්බන්ධීකාරක වන වීඩන්, ප්‍රතිශක්තිකරණය පිළිබඳව ඇතිව තිබෙන විවාදයේ දී ඔවුන්ට ‘විශේෂයෙන් පහර නොදිය යුතු’ බවට ද අනතුරු අඟවයි.

“නොවාක් ජොකොවිච් එන්නත් ගැන මොකවත්ම නොකිව්වත්, දැනටත් එන්නත් ගැනීමට ඇති පැකිලීම ලෝකය පුරාම පැතිරුණු තත්ත්වයක්,” ඔහු සිය නිරීක්ෂණය බෙදාගත්තේ ය.

නමුත් එන්නතට එරෙහිව ඉහළ පෙළේ පුද්ගලයන්ගෙන් එල්ලවන විරෝධය, එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීමට බලධාරීන් දරන උත්සාහයට උපකාරී නොවන බව යි විශේෂඥයා ප්‍රකාශ කරන්නේ.

“ඒක ජොකොවිච්ගේ අභිප්‍රාය වුණත් නැතත්, ඔහුගේ තත්ත්වය නිසා මෙන්ම ඔහුගේ ප්‍රකාශයන් සහ අදහස්වලට ලැබෙන වටිනාකම නිසා, ඔහු එන්නත් විරෝධී ව්‍යාපාරයේ ‘මුහුණ’ බවට පත්වුණා.”

Anti-vaccine placard
ක්‍රීඩා මනෝවිද්‍යාඥයින් පවසන්නේ මළල ක්‍රීඩකයින් ද අප මෙන්ම වැරදි තොරතුරු සහ කුමන්ත්‍රණ න්‍යායන්වලට ගොදුරු විය හැකි බව යි

ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර එන්නත් ලබා ගැනීමේ ප්‍රතිශතය ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන්, ක්‍රීඩා ආයතන සහ කණ්ඩායම්වල උත්සාහය උපකාරී වී ඇති නමුත්, ඩැරන් බ්‍රිටන් අනතුරු අඟවන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් “එන්නත ප්‍රවර්ධනය කරන්නන්” ලෙස හඳුන්වා දීමේ උත්සාහයට මෙය බාධාවක් විය හැකි බව යි.

“ඔබ යමක් අනිවාර්ය කරන්න උත්සාහ කරන තරමටම, මිනිස්සු ඊට විරුද්ධව යන්න ඉඩ තියෙනවා,” බ්‍රිටන් පවසයි.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් දෙනවා දකින්න අවශ්‍ය නම්, ඔබ කළයුත්තේ ඔවුන්ව දැනුවත් කරන එක යි.”

එන්නත් ලබා නොගැනීම තියාගෝ මොන්ටේරෝ සඳහා කිසි විටෙකත් විකල්පයක් නොවීය.

දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවන මවක සිටීම නිසා මෙන්ම, ඔහුගේ උපන් රට වන බ්‍රසීලයේ කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ඉහළ වීම (600 000කට වැඩි) නිසා ද ඔහු කම්පනයට පත්ව සිටියේ ය.

නමුත් ජොකොවිච්ගේ නම විශේෂයෙන්ම සඳහන් නොකළත්, බ්‍රසීලයේ අංක එකේ ක්‍රීඩකයා පවසන්නේ ක්‍රීඩකයින් ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාක ගැන කල්පනාකාරී විය යුතු බව යි.

“එන්නතෙන් ජීවිත බේරා ගන්නා බව ඔප්පු වී ඇතත්, එන්නත ගැන මිනිසුන්ට පුද්ගලික අදහස් තියෙන්න පුළුවන්.”

“නමුත් මම දන්නවා, ලෝ වටා බොහෝ පිරිසක් අපි [ක්‍රීඩකයින්] දිහා බලාගෙන ඉන්න බව. ඇත්තටම අපිට එයාලට යම් බලපෑමක් කරන්න බලයක් තියෙනවා නම්, ඒක හොඳ අතට කරන බලපෑමක් බවට අපි වගබලා ගන්න ඕන.”

bbc sandesaya

Related Posts