ඇඟිලි දිගු කිරීම නොව සහයෝගය ලබාදන්න – ජනාධිපති මහින්ද රාජපක්ෂ

Spread the love

ජාත්‍යන්තර රොටරි සමාජය සංවිධානය කළ සංවර්ධනය සහ සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවෙහි ප්‍රධාන දේශනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් අපගේ වැරැදි සොයන බොහෝ රටවල් අප රටේ ත්‍රස්තවාදය පෝෂණය කරන හා ඒ වෙනුවෙන් මුදල් රැස් කරන අයට තවමත් රැකවරණය සළසන බවත් සත්‍ය දැන ගැනීමට මේ කණ්ඩායමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් මානව අයිතීන් සුරැකීම අතින් අප ලොව කිසිවකුට දෙවැනි නොවන බවත්ය.

එමෙන්ම බලවත් රටවල් පවා ත්‍රස්තවාදයෙන් බැට කමින් සිටිය දී ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව ලොවටම පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු දකුණු ආසියාවටම ත්‍රස්තවාදය පරාජය කිරීමේ අනුබලයක් ලැබුණු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කොළඹ ගලධාරී හෝටලයේ දී ඊයේ (04 සැප්.) ආරම්භවූ මෙම සමුළුවට ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය, භූතානය, මාලදිවයින,, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල නියෝජිතයෝ එක්ව සිටියහ.

ත්‍රස්තවාදය පරාජය කරන්නට ලැබීම පිළිබඳව මහත් ආඩම්බරයට පත්වන බව මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය පරාජය කළ අපි ජාතියක් ලෙස අභිමානයෙන් නැගී සිටින බවත් කීවේය.ජනතාව සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් මානුෂිකව කටයුතු කළ බවත් අවතැන් වූවන්ගෙන් 280,000 ක් පසුගිය මාසය වන විට නැවත පදිංචි කළ බවත් ජනාධිපතිවරයා පැවැසීය.

සහජීවනය සහ විනාශ වූ ප්‍රදේශ නැවත ගොඩ නැගීමට රජය කටයුතු කරන බව පැවැසූ ජනාධිපතිවරයා මේ අවස්ථාවේ කළ යුත්තේ අපට ඇඟිලි දිගු කිරීම නොව සහයෝගය ලබා දීම යැයි පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති කල්‍යාන් බැනර්ජී, හිටපු සභාපති සහ සමුළු සභාපති රාජා සාබු මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

[youtube nG354-vUJwQ]

RSL

Related Posts