ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට අගමැති චීන ආරක්ෂක ඇමතිගේ සහාය පතයි

Spread the love

ලොව පුරා ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග් මහතා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී ඉල්ලා සිටියේය. අද (28) අගමැති නිල නිවසේදී මෙම හමුව සිදුවිය.

මෙහිදී අගමැතිවරයා මෙසේද පැවසුවේය.

ගරු ඇමතිතුමනි, ඔබව ශ්‍රී ලංකාවට පිළිගැනීමට හැකිවීම ගැන මම ඉතා සතුටු වෙමි. වසංගත  තත්ත්වය නොතකා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඔබ කළ තීරණය අපි අගය කරමු.

වසංගත තත්ත්වය හමුවේ වුවද චීනයේ ඉහළ පෙළේ දූත පිරිස් අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකාවට පැමිණියා. ඔබගේ මෙම සංචාරය  සහ හමුවීම තුළින් අපගේ ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

පළමුවෙන්ම මේ වසරට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සහ  එහි සියලු ජයග්‍රහණ සඳහා මගේ උණුසුම් සුබ පැතුම් පළ කරමි.එය සැබවින්ම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.

තවද, දිළිඳුකම තුරන් කිරීමේ දී චීනය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව  මම ඔබට සුබ පතමි. චීන රජය මිලියන 100 කට ආසන්න ග්‍රාමීය වැසියන් මේ වනවිට දරිද්‍රතාවයෙන් මුදා ගෙන තිබේ. අනෙක් අතට දරිද්‍රතාවය පිටුදැකීමේ  එක්සත් ජනපද ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කයන් වසර 10 කට පෙර සම්පූර්ණ කිරීමට චීනයට හැකි වී තිබේ. මෙය විශිෂ්ට ජයග්‍රහණයකි.

ගරු ඇමතිතුමනි, මෙම වසංගත තත්ත්වය මගහරවා ගත හැකි එකම ක්‍රමය එන්නත් කිරීම බව මුළු ලෝකයටම දැන් පැහැදිලි වී තිබේ. කොවිඩ් වසංගතය පැතිර ගිය දා සිට සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සීනෝෆාම් එන්නත් 600000 ක් සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඉතා නොමසුරුව පරිත්‍යාග කිරීම ඉතා අගය කොට සළකමි.  මෙම වසංගත තත්ත්වය සමඟ කටයුතු කිරීමේ දී ඉදිරියටත් චීන රජයේ අඛණ්ඩ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.

පසුගිය සති කිහිපය තුළ  කොවිඩ් 19 ආසාධිතයින් පිරිස වැඩිවුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සළකා මුළු රටම අගුලු නොදැමීමට රජයක් ලෙස අපි තීරණය කළෙමු. පශ්චාත් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවට ඔබත් එකඟ වන බව මට විශ්වාසයි.

මේ වනවිට අපගේ ප්‍රමුඛතාවය වී ඇත්තේ ලොව පුරා ආයෝජනයන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීමයි.  එවැනි ආයෝජකයින්ගේ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා ඔබේ සහයෝගය මම බලාපොරොත්තු වෙමි.

ගරු ඇමතිතුමනි, ඔබගේ මෙම සංචාරය ගැන නැවත වරක් මම ඔබට ස්තූතිවන්ත වන අතර වසංගත තත්ත්වය හමුවේ පැනනගින අභියෝග ජය ගැනීම උදෙසා දැනට පවතින සහයෝගිතාවය වැඩි දියුණු කරගැනීමටත්  ඔබ සහ ඔබගේ රජය සමඟ ඉතා සමීපව අඛණ්ඩව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙමි.

Related Posts