ආනයනික කුණු ලොකු ලූණු ‘හොඳ ලූණු කරන ජාවාරමක්‘ දඹුල්ල ආර්ථිකේදී අතේ මාට්ටු

Spread the love

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් කාන්තාවන් යොදා තෝරා ඒවා කලවම් කොට වෙළඳපොළට යැවීමේ ක්‍රියාවලිය සිදුවන බව දඹුල්ල නගරාධිපති ජාලිය  ඕපාත මහතාට අද (16) දින තොරතුරක් ලැබී තිබිණි

නගරාධිපතිවරයා  වීශේෂ රාජකාරියක් සඳහා වෙනත් ප්‍රදේශයකට පිටව ගොස් සිටීම නිසා නගර සභාවේ වෙනත් නියෝජිතයන් පිරිසක් අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි මෙම ගබඩා පරික්ෂා කිරීම් සිදු කරනු ලැබූයේ  නගරාධිපතිවරයා  ජංගම දුරකථනයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ  සම්බන්ධ කරගෙන වීම  විශේෂත්වයකි.

නිවාඩු දිනයක් නිසා නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් නොමැති වීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශේෂ  රාජකාරි කටයුත්තක් සඳහා පිටව ගිය  අවස්ථාවක මෙම ජාවාරම සිදු කර ගෙන යන බවට තොරතුරු ලැබී තිබීම ද විශේෂත්වයක් බව නගරාධිපත් ජාලිය ඕපාත මහතා පැවසීය.

පසුව සොයා බැලීමේදී ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා දෙකක පාකිස්ථානයෙන් ආනයනය කරන ලද මෙම අහාරයට නුසුදුසු ලොකු ලූනු තොග කාන්තාවන් යොදා ගෙන සුද්ධ කරන ආකාරය දැකගත හැකි විය. එම කාන්තාවන් විසින් සිදු කළේ පැළ වී ඇති ළූණු ගෙඩි වල පත්‍ර සහ කිරි මුල් කපා  ඉවත් කිරීමයි.

මෙම කාන්තාවන් පිරිස ගෙන් ලැබුණු  තොරතුරු මත ලොකු ලූනු කන්ටේනර් ගෙනා තිබූ ව්‍යාපාරිකයන්ගෙන් විමසීමේ දී කි ඔහුයා සිටියේ කන්ටේනර් රථයකින් මෙම ලූනු ගෙනැවිත් තම ගබඩා වලට ලබා දී එම කන්ටේනර් රථය නැවත ගිය බවය.

එම ලූණු සහිත කන්ටේනර් රථය කොහේ ගියාද යන්න නොදන්නා බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාර වලට සම්බන්ධ ලූණු ගෙන්වූ ව්‍යාපාරිකයාගේ ගෝලයින්  නගරාධිපති ජාලිය ඕපාත මහතාට දැනුම් දුන්නේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ඉදිරිපිට ලංගම ඩිපෝව ආසන්නයේ පිහිටි ගබඩාවක කාන්තාවන් පිරිසක් ලොකු ලූණු සුද්ද  කරන සිටින ආකාරය දැක එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීම්ට නගර සභා සේවකයින් කිහිප දෙනකු උත්සාහ කරද්දී එම  ව්‍යාපාරිකයන් කාන්තාවන් ගබඩා කාමරයට දමා දොරවල් වසා එළියේ රැඳී සිට ඇත.

පසුව නගර සභා නිලධාරීන් තම රාජකාරී හැඳුනුම්පත එම ව්‍යාපාරිකයින්ට පෙන්වා දොර විවෘත කරන ලෙස ඉල්ලීම් කළද ඊට එම වෙළෙඳුන් අවනත නොවූහ. විනාඩි 30ක පමණ කාලයක් දොර වසා දමා තිබීමින් පසුව නැවත තවත් ව්‍යාපාරිකයෙකුගේ හිතවතෙක් පැමිණ මෙම ලොකු ලූනුළූණු තොගය ඉවත් කිරීම සඳහා සූදානම් කරන බව පවසා දොර විවෘත කළේය. එම ගබඩාව  විවෘත කරන අවස්ථාවේදී ද පැළ වුණු ලොකු  ලූනු විශාල වශයෙන් කාන්තාවන් යොදා සුද්ධ පවිත්‍ර කරන අයුරු දැක ගැනීමට හැකි වූ අතර කාන්තාවන් එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබිණි.

මෙම නරක් වූ ලොකු ලුණු සහිත කන්ටේනර් රථය 16 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ස්ථාන කීපයකම ගබඩාවලට මේවා ලබා දෙමින් සිටින බව නගරාධිපතිවරයාට ලැබුණු තොරතුරු වල සඳහන්ව තිබුණු නිසා නගර සභා නිලධාරීන් තවත් පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ඇතිව දඹුල්ල නගරයේ ස්ථාන රැසක මෙම ලොකු ලුණු  කන්ටේනර් රථය  සොයන්නට වූහ.‍

එහිදී නිලධාරී කණ්ඩායමකට  ලැබුණු තොරතුරක  සදහන්  වුයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 5ක් පමණ දුරකින් පිහිටි  දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ මෙම කන්ටේනර් රථය ධාවනය වෙමින් පවතින බවය. ඒ අනුව නගර සභා නිලධාරීන් වහාම යතුරුපැදි වල ගොස්  කන්දලම  පාර  සිසිරවත්ත ප්‍රදේශයේ දී මෙම කන්ටේනර් රථය නවතා ගෙන පරීක්ෂාවට ලක් කරන්නට වූහ.

එහිදී කන්ටේනර් රියදුරු කියා සිටියේ මෙම කන්ටේනර් රථයේ ලොකු ළූණු කිලෝ 10,000ක් පමණ ඉතිරිව ඇති බවත් අර්තාපල් තොගයක් ද  පවතින බවය. වරායෙන් නිකුත් කරන කිසිදු ලියකියවිල්ලක් තමන් සතුව නොමැති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් එම කන්ටේනර් රථය විවෘත කිරීම් සඳහා නගර සභා සේවකයින් උපදෙස් ලබා දුන්නද විනාඩි 45ක පමණ කාලයක් එය විවෘත කිරීමකින් තොරව යතුර නැති බව පවසමින් ඔවුන් නිලධාරින් රස්තියාදු කරන්නට විය.

එම ස්ථානයට පැමිණි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු කියා සිටියේ පාකිස්තථානයෙන් ගෙන්වන ලද මෙම ලොකු ලූනු තොගය විනාශ කිරීමට කැමැත්ත පළ කරන බව ය. මෙම ලොකු ලුණු වරායෙන් නිදහස් කර ගැනීමේ ප්‍රමාදය නිසා පැළවී ඇති බව ද ඔහු කීවේය.

ඒ අනුව  අදාළ ලොකු ලූණු තොගය දඹුල්ල මහ නගර සභාව භාරයට ගැනීමට පියවර ගනු ලැබිණි.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts