‘ආඩම්බරකාර ජාතියක් ගොඩනගන්න ආපු රජයක් බංගලිදේශයෙනුත් ණය ගැනීම ඛේදවාචකයක්‘

Spread the love

‘‘චීනෙන් වගේ රටවලින් ණය ගත්තාම සිදුවෙන්නේ අපේ ණය පොතේ ණය වැඩි වනවා විතරයි. විදේශ විනිමට ගැටලුවට හරි විකල්පයක් ලැබෙන්නේ නෑ. ආඩම්බරකාර ජාතියක් ගොඩනගන්න ආපු රජයක් බංගලිදේශයෙනුත් ණය ගන්න මට්ටමට වැටීම ඛේදනීයයි‘ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා කියයි.

මෙහිදී මහාචාර්ය ජයවික්‍රම මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි පිළිගත් ආයතනවලින් ණය ලබා නොගන්නා බව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පැවතිය යුතු නිර්ණායක රජයට සම්පූර්ණ කිරීමට රජයට නොහැකි වූ නිසා බවයි.

ශ්‍රී ලංකා විදේශ සංචිත ගැටලුව සහ ණය කළමනාකරණය ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා, ‘‘සංචිත කළමනාකරණය කිරීමට අපි එක පැත්තකින් අපනයන මගින් මුදල් උපයන්න ඕන. එය එක්කෝ භාණ්ඩ අපනයනය කිරීමෙන් හෝ නැතිනම් විදේශ ශ්‍රමිකයින් මගින් කරන්න පුළුවන්. අනික් පැත්තෙන් අපේ කර්මාන්තවලට ඩොලර්වලින් ආයෝජන ලබාදෙන විදේශීය ආයෝජකයන් ගෙන්නගන්න ඕනෑ.

බැරිම අවස්ථාවක් ආවොත් වෙනත් රටවල්වලින් හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හරි ණය ගන්න පුළුවන්. නමුත් එතනදී බුද්ධිමත් වෙන්න ඕනෑ. දැන් අපේ රජය කියනවා අපි මූල්‍ය අරමුදලින් ණය ගන්නේ නෑ කියලා. මූල්‍ය අරමුදල වගේ ආයතන පිහිටුවන එකේ අරමුණම ආර්ථික වශයෙන් අස්ථාවර වන රටවලට සහනදායී කොන්දේසි මගින් ණය හරි ආධාර හරි ලබාදීලා ඒ මගින් ඒ රටවල් මූල්‍ය අර්බුදයෙන් ගලවාගැනීම. දැන් රජය කියනවා ලෝක බැංකුවෙන්වත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්වත් ණය ගන්නේ නෑ කියලා. ණය ගන්නේ නෑ නෙමෙයි මේ අයට ඒ ආයතනවලට යන්න බැරිකම තියෙන්නේ. මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය වැනි ආයතනවලින් හා වෙනත් බටහිර රටවලින් ණය ගන්න බැරිවෙලා තියෙන්නේ යම් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පැවතිය යුතු නිර්ණායක රජයට සම්පූර්ණ කරගන්න බැරි වුණු නිසා. ඒ ආයතනවලින් ඉල්ලා සිටින නිර්ණායක රටකට හානිදායක ඒවා නෙමෙයි. අපි දැක්කා යුරෝපා පාර්ලිමේන්තුව තුළ මේ මෑතක යෝජනාවලියක් සම්මත කරගත්තා ලංකාවට එරෙහිව. නමුත් ඒ කරුණු පවා රටට වැඩදායී ඒවා. ඒ අය කියන්නේ බලෙන් පැහැරගැනීම නතරකරන්න කියලා, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා. එහෙම කියද්දි අපි දුමින්ද සිල්වා වගේ අය එළියට දාන එක කරන්නේ.

ණය ගන්න ඒ වගේ ආයතනවලට නොගිහින් ඒ වෙනුවට අපි කරන්නේ, ඔබ කිව්වා වගේ බංගලිදේශය වැනි අපිට වඩා අඩු සංවර්ධන මට්ටමක් තියෙන රටවලිනුත් චීනය වැනි රටවලිනුත් ණය ගන්න එක. ඒ වුණාට බොහෝවිට අපිට ඒ ණය මුදල ඩොලර් විදිහට ලැබෙන්නෙත් නෑ. දෙන ටිකත් දෙන්නේ එක්කෝ ණය කපාගෙන. දැන් උදාහරණයක් විදිහට අපි වැව් හාරන්න චීනයෙන් ණය ගන්නවා කියලා කියමුකෝ එතකොට ඒ ණයේම කොටසක් විදිහට මැෂින් එකත් එනවා. හමුදා නිලධාරීන් ටිකත් එනවා, කම්කරුවෝ ටිකත් එනවා. ඒ අය ඇවිත් වැව හාරලා සමහරවිට වැලි ට්කත් අරගෙන මැණික් වගේ ඛණිජ සම්පත් තිබ්බොත් ඒවත් අරගෙන යයි. අපිට ඩොලර් විදිහට ඒ මුදල් ලැබෙන්නේ නෑ. නමුත් මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් ලබාගන්න ණයවල පොලිය සහනදායී වනවා විතරක් නෙමෙයි ඒවා සම්පූර්ණයෙන්ම ඩොලර් විදිහටයි ලැබෙන්නේ. චීනෙන් වගේ රටවලින් ණය ගත්තාම සිදුවෙන්නේ අපේ ණය පොතේ ණය වැඩි වනවා විතරයි. විදේශ විනිමට ගැටලුවට හරි විකල්පයක් ලැබෙන්නේ නෑ. ආඩම්බරකාර ජාතියක් ගොඩනගන්න ආපු රජයක් බංගලිදේශයෙනුත් ණය ගන්න මට්ටමට වැටීම ඛේදනීයයි‘

මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ අනිද්දා පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Related Posts