අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීම පනත වැඩි ඡන්ද 76 කින් සම්මත වේ

Spread the love

පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හෙවත් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 76 කින් පාර්ලිමේන්තුමේදී ඊයේ සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122ක් ද විපක්ෂව ඡන්ද 46 ක් ද ලැබිණි. ආණ්ඩුව සමඟ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. එ.ජා.ප.ය, ප්‍ර.ජා.සංධානයේ සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දුන්හ.

මෙම පනත් කෙටුම්පත විවාදයට නොගන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදී ඇති බැවින් මෙය විවාදයට ගත හැකි බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පෙන්වා දුන්හ.

දෙපාර්ශ්වයේම අදහස් පිළිබඳ සළකා බැලූ කතානායක චමල් රාජපක්ෂ මහතා පනත විවාද කිරීමට අවසර දුන්නේය. මෙම පනත විවාදයට නොගන්නා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද විවාදයට ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ද දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමෙන් පසු පස්වරු 3.10ට විනාඩි 30 කට සභාව කල් තැබූ කතානායකවරයා එම කරුණු පිළිබඳ කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශ කළේය.

පනත් සංශෝධනයන්ට ද බෙදීමක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය. පනතේ 5 වැනි වගන්තිය සංශෝධනය සඳහා මෙම බෙදීම ඉල්ලා සිටි අතර එයට පක්ෂව ඡන්ද 120 ක් ද විපක්ෂව ඡන්ද 22 ක් ද ලැබිණි.


RSL

Related Posts