අවසන් වූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධ කැෆේ වාර්තාව නිකුත් වේ

Spread the love

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (Campaign for Free & Fair Elections – CaFFE) නිකුත් කළ පළාත් පාලන මැතිවරණය සම්බන්ධ අවසන් වාර්තාවේ සදහන් වන ආකාරයට පසුගිය 08 වන දා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේ දකුණු ප්‍රදේශයට අදාළ අවසන් අදියරේ ඡන්ද විමසීමට බාධාවන ක්‍රියා රැසක් තමන්ගේ නිරීක්ෂණයන්ට හසු වූ බව වාර්තා වේ.

ඉන් කියැවෙන්නේ කොළොන්නාවේ සිදුවූ ප්‍රචණ්ඩත්වය හැරුණුවිට මෙම තෙ වන අදියරේ මැතිවරණ දිනය සාමකාමී වූ බවත්, කොළොන්නාවේ සිද්ධිය වළක්වා ගැනීමට පොලීසිය නිසි පරිදි ක්‍රියා නො කළ බවත්ය.

කොළොන්නාවේ ඝාතන සම්බන්ධයෙන් නම කියැවෙන පාර්ලිවාම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් මැතිවරණ දිනයේ උදෑසන සිට ප්‍රදේශයේ සාමය කඩවන අයුරින් සහ මැතිවරණ නීති උල්ලංඝණය වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ වේලාසනින්ම වගකිව යුත්තන්වෙත වාර්තා කර ඇති බව එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී ඇත.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ගේ අත්සනින් යුතු ව නිකුත් කරන ලද සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

කොළොන්නාව මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදු වූ අවසනාවන්ත වෙඩි තැබීමේ සිදුවීම හැරුණු කොට 2011 ඔක්තෝබර් මස 8 දින පැවති පළාත් පාලන මැතිවරණයේ තෙ වන අදියරේ මැතිවරණ දිනය සමකාමී විය.

මැතිවරණ කොමසාරිස්වරයා කොළොන්නාව සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු අනෙකුත් ආයතන වෙත ලබා දුන් සී ඕඑල් 09 (පෙ.ව. 10.30) සහ සී ඕඑල් 14 (ප.ව. 12.40) නියෝග කි‍්‍රයාත්මක වූ වේ නම් මෙම අවසානාවන්ත සිදුවීම වළක්වා ගත හැකි ව තිබුණි. නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු මැතිවරණ දිනය පුරා ඡන්දය පැවැති පළාත් පාලන ආයතන දෙකක හැර අන් සියලු ප‍්‍රදේශයන් ගෙන් වාර්තා වූ වේ ය.

මැතිවරණ දිනයේ නිදහස් බවට වැඩිම බලපෑමක් එල්ලවූවේ මැතිවරණයට ඉදිරිපත් නො වූ ජාතික තලයේ ප‍්‍රාදේශීය දේශපාලනඥයින් විසින් සිය ආධාරකරුවන් සමග – රථ වාහන පෙළපාලි වලින් සිය ආධාරකරුවන් සමග ගමන් කිරීමය. මාතලේ, කුරුණෑගල, කොළඹ, රත්නපුර, හම්බන්තොට, ගාල්ල සහ මාතර එ වැනි සිදුවීම් බහුල විය. මාතලේ රෝහණ දිසානායක, කුරුණෑගල ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ ජයරත්න හේරත්, කොළඹ දුමින්ද සිල්වා, මෙවැනි රථ වාහන පෙළපාලි පැවැත් වූ දේශපාලනඥයෝ අතර වෙති.

කුරුණෑගල සහ මාතලේ රථවාහන පෙළපාලි නැවැත්වීම සදහා මැතිවරණ දෙපාර්තමේන්තුව මැදිහත් වූ අතර, කොළොන්නාවේ දිනය පුරා මෙ වැනි පෙළපාලි පැවැත්වුණි. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයට ලක් වූවේ මෙම රථ පෙළපාලියේ ගමන් ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ගේ කණ්ඩායම සමග ඇති වූ වෙඩි තබා ගැනීම හේතුවෙනි.

මහනුවර මහේන්ද්‍ර රත්වත්තේ සහ අසංග දොඩංවල, හම්බන්තොට රවීන්ද්‍ර ප‍්‍රනාන්දු, බදුල්ල චන්දිම දිසානයාක, රත්නපුර කපිල ගුණවර්ධන, මාතලේ මොහොමඞ් හිල්මි සහ මොහාන් වීරකෝන්, කුරුණෑගල අනුරාධ පෙරමුණෙගේ සහ නිමල් චන්ද්‍රසිරි ද සිල්වා, මීගමුව දයාන් ලාන්සා, ගම්පහ ලක්‍ෂ්මන් ගුණවර්ධන, අජිත් බස්නායක, කෝට්ටේ මධුර විතානගේ, කොටිකාවත්ත මුල්ලේරියාව සුමුදු රුක්ෂාන් මෙවැනි පෙළපාලි පැවැත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයින් වෙති.

එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයින් වූ කොටිකාවත්ත මුල්ලේරියාවේ ඉන්දික කුමාර, කොළඹ මොහොමඞ් මුසම්මීල්, ක‍්‍රිෂාන් රාම්, මහනුවර සිමින්ද වික‍්‍රමසිංහ, රත්නපුර ලක්‍ෂ්මන් මුණසිංහ, සාරංග විතානගේ, මාතලේ ඩල්ජිත් අලූවිහාරේ, නුවරඑළිය චන්දන කරුණාරත්න, මීගමුව රොයිස් ප‍්‍රනාන්දු යන අය අපේක්‍ෂකයින් සිය ආධාරකරුවන් සමග මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ගමන් කළ අය අතර වෙති.

කල්මුණේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ අපේක්‍ෂකයින් ද මෙ ලෙස ම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සමූහ වශයෙන් මැතිවරණ දිනයේ දී හැසිරී ඇත.

මාතලේ මහ නගර සභාවේ තුමියන්ගොඩ, අලූවිහාරේ, හරස්ගම, හින්දු මහා විද්‍යාලය යන ස්ථානවල කණ්ඩායම් වශයෙන් රැදී සිටී එජනිස ආධාරකරුවන් එජාප අපේක්‍ෂකයින්ට බාධා කොට ඇත. මැතිවරණයට පෙර දින රාත‍්‍රී මෙම පිරිස් එජාප ඡන්දපොළ නියෝජිතයින්ට තර්ජන කොට දේපළ අලාභ කොට තිබුණි. තර්ජන හේතුවෙන් ඡන්දපොළ නියෝජිතයින් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණියේ ද ප‍්‍රමාදවී ය.

කල්මුණේ අල් බකිරීයා විද්‍යාලය අසල දී මුස්ලිම් කොන්ග‍්‍රස් අධාරකරුවන් පිරිසක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පිරිසකට බලපෑම් කොට තිබුණි. මුහද්දි සිව ශක්ති විද්‍යාලය අසල දී මෙම පක්‍ෂ දෙකේ ආධාරකරුවන් අතර ඇතිවීමට ගිය ගැටුමක් පොලිස්, ආගමික නායකයින් සහ කැෆේ මැතිවරණ නිරීක්‍ෂකයින් ගේ මැදිහත්වීමෙන් සමනය විය.

හම්බන්තොට, කුරූණැගල, කල්මුණේ, මහනුවර පළාත් පාලනය ආයතනයන් හි ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා දැඩි උනන්දුවක් පැවතුණි. පළාත් පාලන මැතිවරණයන් හි දී ඡන්දය ප‍්‍රකාශ කිරීමේ උනන්දුව අනෙකුත් මැතිවරණයන්ට සාපේක්‍ෂව පහත මට්ටමක පවතින නමුත් මෙ වර මැතිවරණයේ දී ජනතාව වෙනදාට වඩා දැඩි උනන්දුවකින් ඡන්දය ප‍්‍රකාශ කිරීම කැපී පෙනේ.

කොළඹ දිස්ත‍්‍රික්කයේ හැර අනෙකුත් පළාත් පාලන ආයතනයන් හි ඡන්දය ප‍්‍රකාශ කිරීම 65% ඉක්මවා තිබේ. හම්බන්තොට (77%), රත්නපුර (74%), නුවරඑළිය (76%), බදුල්ල (73%), කල්මුණේ (68%*), මාතලේ (68%) ඉහළම ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතයන් වාර්තා වූ පළාත් ආයතන වෙති.

මෙ වර මැතිවරණයේ දී ඡන්දදායකයින් නැවත ඡන්ද පොළ වෙත පැමිණීමට දක්වන ලද ළැදියාව මැතිවරණ ක‍්‍රමය පිළිබද ජනතාවගේ විශ්වාස දනවන්නකි.

පූර්ව මැතිවරණ සමයේ දී මෙන් ම මැතිවරණ දිනයේ දී ද මැතිවරණ නීති උල්ලංඝණයන් බහුල විය. මැතිවරණ දිනයේ වාර්තා වූ සිදුවීම් 89 ක් අතුරින් පැමිණිලි 68 ක් ම මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් විය. මාතලේ, කල්මුණේ, කොළොන්නාව, ප‍්‍රදේශවලින් පහර දීම් 5 ක් වාර්තා වූ අතර තර්ජනය කිරීමේ සිදුවීම් 15 කි. තර්ජනය කිරීම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූවේ මාතලේ, රත්නපුර, කල්මුණේ සහ කොළොන්නාව ප‍්‍රදේශ වලිනි.

මැතිවරණ දිනය පුරා ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම ඉහළ මට්ටමක පැවතුණි. මීගමුව, මාතලේ, ගම්පහ ප‍්‍රදේශයන් හි රථ වාහන පෙළපාලි නැවැත්වීමට පොලිස් නිලධාරීන් යොමු කරන ලද්දේ දෙපාර්තමේන්තුව විසිනි. කොටිකාවත්ත ප‍්‍රදේශයට අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමටත්, වාහන පෙළපාලි නැවැත්වීමටත් මැතිවරණ දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබුණි. එයට අමතර කණ්ඩායම් වශයෙන් පුද්ගලයින් රැදී සිටීම හේතුවෙන් මැතිවරණ දින පෙරවරුවේ ඡන්දය ප‍්‍රකාශ කිරීම පහළ වැටී තිබූ ප‍්‍රදේශයන් හි තත්ත්වය පාලනය කිරීමට අමතර නිලධාරීන් යෙදවීමට දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය. ගාල්ල ප‍්‍රදේශයේ දේශපාලනඥයෙකුට ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ඇතුල්වීම සදහා අවසර නො දීම එ වැනි බලපෑම්කාරී මැදිහත්වීමකි.

කොළඹ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්‍ෂණය සදහා මැතිවරණ දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමු අවස්ථාවට “කැෆේ” සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂකයින් දෙදෙනෙකුට අවස්ථාව ලබා දෙන ලදී.

පසුගිය මැතිවරණයන් හා සැසදීමේ දී කොළඹ ඞී.එස්.සේනානායක විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ කටයුතු පිළිබද ඡන්දයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයින් තෘප්තිමත් විය. ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් හි ප‍්‍රතිඑල කාබන් පිටපත් ප‍්‍රදර්ශනය විධිමත් ව සිදු විය.

කොටිකාවත්ත ප‍්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතන 4 සහ ඒ ආශ‍්‍රිත සිදුවීම හැරුණු කොට මෙ වර මැතිවරණ දිනය සමස්ථයක් වශයෙන් සාමකාමී විය. මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග වගකිවයුතු අංශ මගින් නො තකා හැරීම හේතුවෙන් මෙම ඝාතන සිදු වූ බව පැහැදිලි ය.

මැතිවරණ පූර්ව සමයේ දී සිදු වූ නිති විරෝධී කටයුතු, මැතිවරණ දිනයේ නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු හේතුවෙන් මැතිවරණයේ නිදහස් හා සාධාරණ බවට දැඩි බලපෑම් එල්ල විය. ප‍්‍රාදේශීය දේශපාලනඥයින් තම බලය පෙන්වීම සදහා රථ වාහන පෙළපාලි පැවැත්වීම ඡන්දදායකියන් ට බලපෑම් එල්ල කරන්නක් වූවේ ය.

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්‍ෂ/කැෆේ
2011 ඔක්තෝබර් 12

RSL

Related Posts