අර්බුදයෙන් ගොඩයන්න තවම වැඩපිළිවෙළක් නෑ

Spread the love

ජනාධිපතිවරයා පත්වී සැළකිය යුතු කාලයක් ගත වුවත් රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද  පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දළ රාමුවක් ,දළ අදහසක් ඉදිරිපත් කළත් කළ යුත්තේ කුමක්ද? කෙසේද ? කවදා ද? යන්න සම්බන්ධයෙන් කිසිවක් දැනුවත්ව නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ණය උගුලෙන් මිදීම සඳහා අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ආර්ථිකය ගොඩ නැගීමට ඉදිරිපත් කරන ලෙස රජයට අවධාරණය කරන බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

රජයට මේ ආර්ථිකය කෙටිකාලීනව ගොඩගැනීම සඳහා විපක්ෂය කරුණු 10 ක අවම පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

අරගලය බලාපොරොත්තු වුණේ ක්‍රමවේදයේ වෙනසක් වුවත් එවැනි කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් රාජපක්ෂලාගේ හොල්මන් හරහා නැවතත් රජයේ වැඩ කටයුත්ත ඉදිරියට යන බවක් පෙනීමට තිබෙන බවත් මන්ත්‍රීවරයා කීවේය.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට ප්‍රථම වතාවට රජයේ මුදල් කාරක සභාවේ සභාපතිකම දීම පිළිබඳ තමන් සතුටු වන බවත් මේ හරහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.

රට ගොඩ ගැනීම සඳහා ඇමතිවරයෙක් විය යුතුම නැතැයි යන්න මෙම තනතුර හරහා ඔප්පු කර පෙන්වීමට තමන් බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා කීවේය.

වත්මන් පාර්ලිමේන්තුවෙන් සැබෑ ජනමතය නියෝජනය නොවන බවත් ජනමතය නියෝජනය වෙන අලුත් පාර්ලිමේන්තුවක් 2023 මාර්තු මාසෙන් පසු පත් කරන තෙක් මෙම දායකත්වය ලබා දෙන බවත් ඔහු තවදුරටත් පැවසීය.

 

RSL

Related Posts