අරගලය මර්ධනය කරන අය සමග සම්බන්ධ වෙන්නේ නෑ

Spread the love

කුමන තනතුරු දුන්නත් පොදුජන අරගලය මර්දනය කරන ආණ්ඩුවට සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය.

සියලු වාද භේද අමතක කොට, මත වාද මොහොතකට පසෙකින් තබා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට එකතු වන්නැයි සියලු බලවේගවලට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් ආණ්ඩුව රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් “මර්දනයට එරෙහි ජන පෙළගැස්ම ” හමුවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මහින්ද රාජපක්ෂ සිය සමුගැනීමේ උත්සවයේදී ආරම්භ කළ ත්‍රස්ත පන්නයේ මර්දනය, ක්‍රියාත්මක වන බවත් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හෝ නැති කිරීමට කිසිවෙකුට අයිතියක් නැතිබවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.

ආණ්ඩුව අතිශය දුර්ධාන්ත ලෙස මර්දනය සිය අවිය බවට පත් කොට ගෙන සිටින තත්ත්වයක් තුළ රට ඉතාමත් භයානක තත්වයකට පත්වෙමින් තිබෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන්, බහුජන සංවිධාන සහභාගීත්වයෙන් පැවැති එම අවස්ථාවට බ්‍රිතාන්‍ය, කැනඩා, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා ඇතුළු තානාපති කාර්‍යාලවල නියෝජිතයන් සහ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් ද එක්ව සිටියහ.

RSL

Related Posts