අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලන්න එපා – බැසිල් ඇමැතිවරුන්ට කියයි

Spread the love

මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා.

ඊයේ (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ  පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම ඉල්ලීම කළ මුදල් අමාත්‍යවරයා සහල් මිල රුපියල් 20කින් පමණ අඩු කිරීමට හැකියාව තිබියදී ව්‍යාපාරිකයන් හතරදෙනකු සහල් වලින් අධික ලාභයක් ලබන බවද සඳහන් කළා.

මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ගතවූ කාලයේදී රාජ්‍ය අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බැවින් අලුතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවශ්‍යතාවක් ද නැති බවයි.

‘‘අපි පසුගිය කාලයේ රජයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ නිසා මේ වන විට සේවය කරමින් සිටින කාර්ය මණ්ඩල යොදාගෙන කටයුතු කර යන්න කියලා තමයි මට ඉල්ලීම් කරන්න වෙන්නේ‘‘

මෙහිදී රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය ගැන විශේෂයෙන් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යවරයා විදේශ සංචිතවල යම් අඩුවීමක් තිබෙන නමුත් එය කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බව ද පැවසුවා.

‘මේක ඒ හැටි අර්බුදයක් නොවෙයි. යුද්ධය කාලේ විදේශ සංචිත තිබුණේ ඩොලර් බිලියන 1.2යි‘ මුදල් අමාත්‍යවරයා පැවසුවා.

‘මහ බැංකුවේ හා පෞද්ගලික බැංකු වල කිහිප දෙනකු එක් වී ඩොලර් මගඩියක් කරගෙන යනවා. මේ නිසා ඩොලර් වෙනුවෙන් කළුකඩයක් නිර්මාණය වී තිබෙනවා. කළු කඩේ ඩොලරයක මිල රුපියල් 235 ක් දක්වා ඉහළ ගියත් එය මේ වන විට 220 දක්වා පහළ වැටී තිබෙනවා‘ යැයි ද සදහන් කළා.

Related Posts