අත්‍යවශ්‍ය සේවා මහජන විමසීම් සඳහා “1965” කෙටි දුරකථන අංකයක්

Spread the love

සංචරණ කාල සීමාව හා ඉන් ඉදිරියටත් රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධවෙමින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම පැය 24 පුරා ක්‍රියාත්මක “1965” කෙටි දුරකථන අංකය හඳුන්වාදීම සහ එම මධ්‍යස්ථානය විවෘත කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

“1965” කෙටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

‘’අද දින අග්‍රාමාත්‍ය කාර්යාලයත් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායත් එකතු කරමින් අතිගරු ජනාධිපතිතුමාගේත්, අග්‍රාමාත්‍යතුමාගේත් උපදෙස් පරිදි 1965 කෙටි දුරකථන ඇමතුම හරහා අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ ජනතා ගැටලු විසඳීම අරලියගහ මන්දිරය කේන්ද්‍රකරගනිමින් අපි අද ආරම්භ කරනවා.

මේ දිනවල සහ ඉදිරි කාල සීමාවල ජනතාව මුහුණපාන ගැටලු විශේෂයෙන් සංචරණ සීමා කාල සීමාව තුළත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේ දීත් පැන නගින ගැටලු ඒ ඒ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම හා ජනතාවට වඩා කාර්යක්ෂමව එම කාර්යය ඉටු කරගැනීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස 1965 දුරකථන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා.

සංචරණ සීමා කාලය තුළත් මෙම ව්‍යවසනයෙන් මේ රට මුදාගන්නා තුරුත් ඊට පසුවත් රටේ මහජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් තවත් සමීප කරවන තාක්ෂණය භාවිතා කරන ගමන් ඔවුන්ගේ අදහස් හා ඔවුන්ට අවශ්‍යතා තිබේ නම් අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කර ඒවා ඉටු කරගැනීමට අවශ්‍ය පරිසරය හදන එක තමයි මේ මධ්‍යස්ථානයෙන් අපි බලාපොරොත්තු වන්නෙ.

අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා ඔබට මේ කාල සීමාව තුළත් සංචරණ සීමා පැනවුණු කාල සීමාව තුළත් අත්‍යවශ්‍ය සේවා හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ දීත් කොරෝනා ව්‍යවසනය නිසා තමන්ගෙ ජන ජීවිතය අඩාල වුණ අවස්ථා තිබෙනවා නම් හෝ රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධීකරණ ගැටලු තිබෙනවා නම් ඒ වගේම ඒ කටයුතු කාර්යක්ෂම කරගන්න අවශ්‍යතාවක් තිබෙනවා නම් ඔබ 1965 දුරකථන අංකයට කතා කරන්න.

ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ජනාධිපතිතුමාගේත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත් උපදෙස් පරිදි අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වීමෙන් ඒ හරහා අපට ඔබව අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා.

විශේෂයෙන්ම අපි බලාපොරොත්තුවෙනවා ග්‍රාමීය කමිටු හරහා ප්‍රාදේශිය මට්ටමෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, ප්‍රජා පොලිසිය එක් කරමින් ඒ ඒ ප්‍රදේශයේ ගැටලු සම්බන්ධීකරණය කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර පවත්වාගෙන යන්න.

ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය තවත් ඉදිරියට ගෙනයමින් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ සමඟ ජනතාව සම්බන්ධීකරණය කිරීමත් 1965 මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලන්නෙ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කරගැනීම සඳහා සංචරණ සීමා පවතින කාලය තුළ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් 1965 අංකය භාවිතා කරන්න.

ඒ එක්කම මේ අංකය භාවිතා කිරීමේ දී අපි බලාපොරොත්තු වෙන්නෙ ඔබව ඒ අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම. එහිදී ප්‍රාදේශීය මට්ටමෙන් අපේ මධ්‍යස්ථාන තියෙනවා. ඒ ප්‍රාදේශිය සභාව නැතිනම් ප්‍රාදේශිය කමිටුව විසින් ඔබව දැනුවත් කරයි. එසේ සම්බන්ධ විය නොහැකි වුණොත් 1965 සමඟ සම්බන්ධ වෙන්න.

මේ මධ්‍යස්ථානය පවතින්නෙ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා රජයට හා රාජ්‍ය ආයතනවලට සහයෝගයක් දෙන්න. එම සහය ලබාදීම සඳහා අපට උදව් කරන්න කියන ඉල්ලීමත් කරනවා. ඔබේ ජන ජීවිතය පහසුකරවන්න පිහිටවූ මෙම මධ්‍යස්ථානය සඳහා අවශ්‍යතාව අනුව පමණක් ඇමතුම් දෙන්න.

1965 මෙම මධ්‍යස්ථානය සංචරණ සීමා තිබුණත් නැතත් කොරෝනා වසංගතය තිබුණත් නැතත් අත්‍යවශ්‍ය සේවා සහ රටේ ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙල හරහා ඉදිරියට යනවිට දිගින් දිගටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක, කංචන විජේසේකර, රොෂාන් රණසිංහ, සනත් නිශාන්ත, ජානක වක්කුඹුර මහත්වරු සහ රාජ්‍ය නිලධාරින් හා 1965 කෙටි දුරකථන මධ්‍යස්ථානයේ නිලධාරී මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Related Posts