අතහැරදමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ‘නැවත ආරම්භ කිරීමට’ අගමැතිගෙන් උපදෙස්

Spread the love

පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පෙරවරුවේ උපදෙස් දුන්නේය‍.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව  මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හා දැනට ආරම්භ වී තිබෙන සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය සමාලෝචනය කළේය.

සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය ආණ්ඩුවේ වසර පහක කාලය තුළ දී අතහැර දමා ඇතිබව නිලධාරින් පිරිසක් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.

එසේ ක්‍රියාත්මක නොවී අතහැර දමා ඇති ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

සියලුම ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය උපයන ආදායම් වලට අමතරව මහා භාණ්ඩාගාරයෙන් ද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related Posts