හිටපු එංගලන්ත වේග පන්දු යවන්නකු වූ ග්‍රැහැම් ඩිලී මිය යයි

Spread the love

හිටපු එංගලන්ත වේග පන්දු යවන්නකු වූ ග්‍රැහැම් ඩිලී පිළිකා තත්ත්වයක් හේතුවෙන් කෙටි කලක් රෝගාතුරව සිටීමෙන් පසුව පසුගිය දා (05 ඔක්.) මිය ගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 52ක් විය.
සිය පරම්පරාවේ වේගවත්ම පන්දු යවන්නකු වූ ඩිලී, එංගලන්තය වෙනුවෙන් 29.78ක සාමාන්‍යයකින් යුතුව ටෙස්ට් කඩුලු 138ක් ලබා ගත්තේය. එහෙත් එංගලන්තය වෙනුවෙන් ඔහුගේ අමතක නොවන හොඳම දායකත්වය වාර්තා වූයේ පිත්තෙනි. 1981 වසරේ හෙඩිංලි හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ජනප්‍රිය ‘අළු බඳුන’ ජයග්‍රහණයක් කරා යාමට එංගලන්තයට උපකාරී වෙමින් ඩිලී, ලකුණු 117ක සබඳතාවක් වෙනුවෙන් ඉයන් බොතම් ට සහාය වෙමින් ලකුණු 56ක් රැස් කිරීමට සමත් විය.
දස වසරක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියක් තුළ ඩිලී ටෙස්ට් තරග 41කට හා එක්දින තරග 36කට සහභාගි විය. හෙඩිංලි තරගයට අමතරව ඔහු 1986 – 87 ජයග්‍රාහී ‘අළු බඳුන’ තරගාවලියේ බ්‍රිස්බේන් හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් පළමු ඉනිමේදී ලකුණු 68කට කඩුලු 5ක් ලබා ගත් අතර ඔහුගේ මේ පන්දු යැවීම නිසා ඔස්ට්‍රේලියාවට පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට සිදුවිය.
ඩිලීගේ සම්පූර්ණ පළමු පෙළ ක්‍රීඩා දිවිය තුළදී ඔහු කෙන්ට්, වූස්ටර්ෂයර්, එංගලන්තය හා නටාල් කණ්ඩායම් වෙනුවෙන් 26.84ක සාමාන්‍යයකින් යුතුව කඩුලු 648ක් ලබා ගත්තේය. ආතරයිටිස් රෝගය හේතුවෙන් ඩිලී 1992 වසරේදී තරග බිමෙන් සමු ගත්තේය.
ඉන්පසුව පුහුණුකරු ක්ෂේත්‍රයට පිවිසි ඔහු එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළේය.


RSL

Related Posts