සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය ඇරඹේ

Spread the love

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය මඟින් ඊයේ (22)දින කොළඹ මහජන පුස්තකාලීය රැස්වීම් ශාලාවේ සංවිධානය කර තිබූ ජනතා එකමුතුව සඳහා විශාල ජනතාවක් සහභාගීවී ඇත.මේ සඳහාබහුජන හා සිවිල් සංවිධාන නායකයින්, කලාකරුවන්, වෘත්තිකයින්, විද්වතුන් හා ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගීවී ඇතැයි වාර්තා වේ.

මෙහිදී ප්‍රධාන දේශන පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් සිදුකළ අතර, අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන් විසින් විශේෂ දේශනයක් පවත්වන ලදහ. එහිදී අදහස් දැක් වූ උන්වහන්සේ කියා සිටියේ, “ජයග්‍රහණය කරලා ජයපැන් බොන වෙලාවේ කේක් ‍ගෙඩිය කපද්දි ජනාධිපතිතුමාට පිහිට දුන්නාම ජනාධිපතිතුමා පිහිය දුන්නේ මෙන්න ජෙනරල් ඔයයි ජයග්‍රහණය කළේ මෙන්න පිහිය, ඔබතුමයි ලෝකේ ඉන්න හොදම සෙන්පතියා අපි නෙමෙයි කිව්වේ. ජයග්‍රහණය කළාට පස්සේ අපේ රජවරු දුන්නේ නින්දගම් ජයග්‍රහණය කරපු හමුදාවන්ට නින්දගම් ගානේ දුන්නා. ගෝඨයිම්බරට එක නින්දගම් ගානේ දුන්නා. ගෝඨයිම්බරට එක නින්දගමක් වේළුසුමනට තව නින්දගමක් දුන්නා. ඔන්න ජෙනරාල් සරත් ෆො‍න්සේකාට ලැබිච්ච නින්දගම”යැයි පවසා සිටියහ.

එහිදී අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසීය.

“අපි නැගී සිටිය යුතුයි කියන හැඟීමක් ඇතුව තමයි අපි මේ සංවිධානය පිහිටුවන්න අදහස් කරමින් ඔබ සියලුදෙනාට මෙතෙන්ට ආරාධනා කරන්නත් අපි පෙළඹුනේ. මට ඇත්තෙන්ම සතුටුයි ඒ වගේම මට ආඩම්බරයක් හිතෙනවා මම තනිවෙලා නැහැ. ජෙනරාල්තුමා තනිවෙලා නැහැ. මගේ දියණියන් දෙදෙනා තනිවෙලා නැහැ කියලා”

මෙහිදී ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කුමාර අලගියවන්න හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන්ද සභාව ඇමතුවේය.

මේ සඳහා විපක්ෂ දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී ඇති අතර මෙහිදී ජනතා අදහස් සඳහා වැඩි අවස්ථාවක් ලබාදී ඇත.

RSL

Related Posts