ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතා දිනූ ජයග්‍රාහකයෝ

Spread the love

සිලෝන් බිස්කට් රිට්ස්බරි අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ අනාගත තරු බිහි කෙරෙන ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ත පිරිමි ශූරතාව ලකුණු 138ක් ලබාගත් මීගමුව මාරිස්ටෙලා විදුහල හා කාන්තා සමස්ත ශූරතාව ලකුණු 253ක් ලබාගත් වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල හිමිකර ගත්හ. මේ ශූරතාවලියේදී නව තරග වාර්තා 14ක් බිහිවූ අතර වාර්තාවක් සම විය.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවූ මේ ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මීටර් 110 කඩුලු පැන දිවීමේ ඉසව්ව තත්පර 14. 06කින් නිමකළ කොළඹ සාන්ත ජෝෂප් විදුහලේ ෂෙහාන් කාරියවසම් හා දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.98ක දක්ෂතාවක් පෙන්වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ රිද්මා නිශාදී දිනා ගත්හ.

ශූරතාවලියේ සමස්ත පිරිමි දෙවැනි ස්ථානය ලකුණු 133ක් ලබාගත් සාන්ත බෙනඩික්ට් විදුහල හා තෙවැනි ස්ථානය ලකුණු 130ක් ලබාගත් වලල ඒ රත්නායක විදුහල සතුවිය. කාන්තා දෙවැනි ස්ථානය ලකුණු 92ක් ලබාගත් රත්නපුර සුමනා බාලිකා විදුහල හා තෙවැනි ස්ථානය ලකුණු 76ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල දිනා ගත්හ.

පිට පළාත් පාසල් අතුරින් සමස්ත පිරිමි ශූරතාව ලකුණු 130ක් ලබාගත් වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල හා කාන්තා සමස්ත ශූරතාව ලකුණු 92ක් ලබාගත් රත්නපුර සුමනා බාලිකා විදුහල හිමිකර ගත්හ. පිට පළාත් හොඳම පිරිමි දෙවැනි ස්ථානය ලකුණු 79ක් ලබාගත් හලාවත සාන්ත මේරී විදුහල හා පිට පළාත් හොඳම කාන්තා දෙවැනි ස්ථානය ලකුණු 76ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල හා තෙවැනි ස්ථානය ලකුණු 70ක් ලබාගත් මීගමුව ආවේ මරියා කන්‍යාරාමය දිනා ගත්හ.

දින 3ක් පුරා පැවැති මේ ශූරතාවලියට රටපුරා පාසල් 200ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2500ක් පමණ එක්ව සිටියහ.

නව තරග වාර්තා මෙසේය:

පිරිමි – 16න් පහළ – අකලංක විජේසූරිය කවපෙත්ත විසි කිරීම මීටර් 52.48 (සා. පීතර්), 18න් පහළ – ඩී. එම්. එච්. එස්. කරුණාරත්න මීටර් 800 විනාඩි 1:54.30 (වලල ඒ.), 18න් පහළ – ෂෙහාන් කාරියවසම් මීටර් 110 කඩුලු තත්පර 14. 06 (සා.ජෝෂප්), 18න් පහළ – මනේෂ් මලින්ත කවපෙත්ත විසි කිරීම මීටර් 47.2 (තල්දෙක සා.රීටාස්), 18න් පහළ – මනේෂ් මලින්ත හෙල්ල විසි කිරීම මීටර් 65.29 (තල්දෙක සා. රීටාස්), 18න් පහළ – පී. ජී. ජී. සී. රණවීර මීටර් 100 තත්පර 10.67 (මහනුවර සා. සිල්වෙස්තර්), 18න් පහළ – ළහිරු කේෂාන් කවපෙත්ත විසි කිරීම මීටර් 43.12 (රක්වාන රත්නාලෝක)

කාන්තා – 16න් පහළ – සදීපා හෙන්ඩර්සන් මීටර් 100 තත්පර 12.56 (ගේට්වේ ජා.ප), 16න් පහළ – සදීපා හෙන්ඩර්සන් මීටර් 200 තත්පර 25.65 (ගේට්වේ ජා.ප), 16න් පහළ – ශානිකා ලක්ෂාණී මීටර් 800 විනාඩි 2:17.93 (ගම්පහ සිරිකුරුස), 18න් පහළ – ෂිලින්දා ජෙන්සන් මීටර් 100 තත්පර 12.43 (ගේට්වේ ජා. ප), 18න් පහළ – මැණිකේ කනගරත්න මීටර් 2000 බාධක විනාඩි 7:16.40 ( වලල ඒ), 20න් පහළ – යමානී දුලාංජලී මිටර් 400 කඩුලු විනාඩි 1: 01. 81 (අඹගමුව ම.ම.වි)

වාර්තා සම කිරීම් :

16න් පහළ කාන්තා – සනෙරි අනුත්තරා මීටර් 110 කඩුලු තත්පර 15. 43 (පන්නිපිටිය ධර්මපාල)

RSL

Related Posts