ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී රටේ දේශපාලන නායකයින්ට ඉන්දියාව බලපෑම් කළේ යැයි සඳහන් මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්ට බලපෑම් කිරීමට ඉන්දියාව දේශපාලන මට්ටමින් දරන ලදැයි පැවසෙන පදනම් විරහිත මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කළ බවයි.

එම පදනම් විරහිත මාධ්‍ය වාර්තා “සම්පූර්ණයෙන්ම අසත්‍ය” යැයි සඳහන් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් මෙසේ පැවසීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ඉන්දියාව සහාය දෙන බව නැවත අවධාරණය කළේය.

එමෙන්ම ඉන්දියාව කිසිදු විටක බාහිර රටක අභ්‍යන්තර කටයුතු වලට සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ට මැදිහත් නොවන බව අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් තෝරා පත් කර ගැනීමට මොහොතකට පෙර මෙම ප්‍රකාශය නිකුත් විය.

තවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සර්ව පාක්ෂික රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පැවසූයේ හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් මාලදිවයිනටත් පසුව සිංගප්පූරුව දක්වාත් පිටත්ව යාමට ඉන්දියාව පහසුකම්” ලබා දී ඇති බවට වන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේ ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන සහයෝගය තරම් වෙනත් කිසිදු රටක් ශ්‍රී ලංකාවට සහාය නොදැක්වූ බවයි.
.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්