වැසි තත්වය අඩු වුවත් අදත් මුහුද රළු විය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Spread the love

වැසි තත්ත්වය තරමක් අඩු වූවත් දිවයින අවට මුහුදු ප්‍රදේශ අද (27) දිනයේදී රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර ගිනිකොන දිශාවෙන් සුළං හැමීම සිදුවන අතර සුළ‍‍‍ඟේ වේගය පැයට කිලෝ මීටර් 40ක් විය හැකි අතර ඇතැම් අවස්ථාවලදී වේගය පැයට කිලෝ මීටර් 60 දක්වා වර්ධනය විය හැකිය.
ඒ හේතුවෙන් බටහිර ගැඹුරු මුහුද විටෙක රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පී.ජී යසරත්න මහතා පවසයි.
එසේම දිවයිනේ  බස්නාහිර සහ දකුණු පළාත්වල අපරභාගයේදී තවදුරටත් කඩින් කඩ වැසි ඇතිවිය හැකි අතර නැගෙනහිර, උතුර, උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැකිය.

අධික වර්ෂාව හේතුවෙන් දිවයින වටා පවතින ප‍්‍රධාන ජලාශ 69 න් 10 ක් මේ වනවිටත් වාන් දමමින් පවතින බවත් මධ්‍යම ප‍්‍රමාණයේ වැව් 30 ක්ද වාන් දමන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කලා වැව, නාච්චාදූව වැව සහ රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර, උතුරු මැද පළාතේ මාර්ග කිහිපයක සුළු ජලගැලීම් තත්ත්වයන්ද වාර්තා වේ.

වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් මැණික් ග‍ඟේ ජලය භාවිත කරන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මල්වතු ඔයේ සහ යාන් ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති නිසා අවධානයෙන් පසුවන ලෙස අදාළ ප‍්‍රදේශවල ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

RSL

Related Posts