“ලෝකල් පර්චර්ස්” නවත්තන්න කියලා වැඩිපුර ඖෂධ ගෙන්වන්න බල කරලා, මිලියන 2000ක් නාස්තිවන ලකුණු

Spread the love
  • On arrival PCR නවත්තපු, ජංගම රසායනාගාර සහ නියැදි පරීක්ෂණ නවත්‍තපු අය ඉදිරි රැල්ලට වග කියන්න ඕනේ
  • කොයි එන්නත ගැහුවත් සදාකාලික නෑ, ෆයිසර් ගැන කරපු පර්යේෂණයකින්, චීන එක හොදයි කියන්න හදනවා
  • කෝටි 11ක බාල ඖෂධ. වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා 
  •  “ලෝකල් පර්චර්ස්” නවත්තන්න කියලා වැඩිපුර ඖෂධ ගෙන්වන්න බල කරලා, මිලියන 2000ක් නාස්තිවන ලකුණුවැඩි ගානට, බාල වර්ගයේ PCR ප්‍රතික්‍රීයක මිලට ගන්න තාක්ෂණික කමිටු තීරණ නිසා පාඩුව මිලියන 125ක්

රාජ්‍ය ඇමැති චන්න ජයසුනමන මහතා වැඩි මුදලට ගන්න චීන එන්නත බේරා ගන්න, පර්යේෂණ ප්‍රතිඵල විකෘති කරනවා යැයි ද වත්මන් තත්ත්වය තුළ තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම අනිවාර්ය බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

අද (08) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළ කුමුදේශ් මහතා වැඩි දුරටත් කියා සිටියේ කෝටි 11ක බාල ඖෂධ ආනයනය කර ඉන් වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසුවේය.

‘‘අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරා, අමාත්‍යාංශයක් පිහිටෙව්වා අමාත්‍යංශයේ සම්බන්ධයෙන් වෙනම ප්‍රචාරාත්මක වැඩසටහනකුත් ගෙනිච්චා. නමුත් අද වෙනකොට දත්ත නැති වෙලා තිබෙනවා රට තුළ ඖෂධ නිෂ්පාදන ඇනහිටලා තිබෙනවා. ගෙන්නන උපකරණ සහ ඖෂධ ගෙන්වීමේදී විවිධ දූෂණ සිදුවෙලා තිබෙනවා. වෙනම අමාත්‍යාංශයක් නඩත්තු කරමින් රටට කිව්වේ ඖෂධ සම්බන්ධයෙන් සුභදායී දෙයක්. ඒ නිසා අපිත් ඒ පිළිබඳ සුභවාදිව බලාගෙන සිටියා

2020 විගණකාධිපතිවරයාගේ වාර්තාවේ බැලූ බැල්මටම කෝටි 11ක බාල ඖෂධ ගෙනල්ල තියෙනවා කියලා වාර්තා වෙනවා. රාජ්‍ය ඇමතිවරයා සුපුරුදු සිංදුවම කියන්න හදනවා. මේක කලින් ආණ්ඩුවේ එකක් කියලා චන්න ජයසුමන කට ඇරියොත් කියන්නේ මේක කලින් ආණ්ඩුවේ වැරැද්දක් ඒ ආණ්ඩුව තමයි වගකියන්න ඕනි කියලා. හැබැයි අපි පැහැදිලිවම කියනවා රාජ්‍ය ඇමතිවරයෙක් ඒ සම්බන්ධයෙන් පත්කරලා තියෙන්නේ මේ රටේ වෙනම වරදාන වරප්‍රසාදය නඩත්තු කරන්නේ මහජන මුදලින් පහුගිය ඇමති පසුගිය ආණ්ඩුව කියලා ෂේප් වෙන්න හදන්න එපා.

ඖෂධ ගෙනල්ලා විතරක් නෙමෙයි විගණකාධිපති වාර්තාවේ තියෙනවා පොළොන්නරුව රෝහලට විතරක් ලක්ෂ හයක ඖෂධ යවලා. ඒකෙන් ලක්ෂ 5ක් රෝගීන්ට නිකුත් කරලා. ක්ෂුද්‍රජීවීන් ඉන්න, වීදුරු කෑලි තියන, පෙති කුඩු වෙච්ච, පාට වෙනස් වෙච්ච බෙහෙත් අරගෙන ගිහිං බීපු මිනිස්සුන්ට මොනවා වෙලා ඇත්ද? කවුද ඒවා හොයලා බලන්නේ, බෙහෙත් හින්දම මැරෙන මිනිස්සුත් ඇති. කවුද ඒවාට වග කියන්නේ. සාමාන්‍ය පරිපාලනයවත් නොදන්නා සෞඛ්‍ය සේවාවේ ලේකම්වරයා මේ වගේ ඒවාට පිළියම් යොදයිද?

තාක්ෂණික ඇගයිම් කමිටුවල වංචාසහගත තීරණ නිසා, කොවිඩ් PCR ප්‍රතික්‍රීයක වැඩිමුදලට ගැනීම හේතුවෙන්, මාස කිහිපයකදී මිලියන 125ක් රජයට අහිමි වෙලා

කොවිඩ් මුල් අවස්ථාවේ PCR ජාවාරම ගැන අපි දිගින් දිගටම කියපුවාත් විගණාධිපති වාර්තාවේ තහවුරු වෙලා තියනවා. පළවෙනි කාර්තුවේදී පමණක් වංචා සහගත තාක්ෂණික කමිටු තීරණ නිසා PCR ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේදී මිලියන 125 ක පාඩුවක් ‍රජයට සිදු වෙලා තිබෙනවා. ටෙන්ඩර් වල දී අඩු මිලට වඩා හොද ප්‍රතික්‍රීයක කට්ටල මිලදී ගැනීමේ හැකියාව තිබියදී, තාක්ෂණික ඇගැයීම් කමිටුවල ඉන්න තැරැව්කාර විශේෂඥයින්ගේ ඒකාධිකාරයට යටවීම නිසා, ඔවුන්ගේ බොරු සෞඛ්‍ය ලේකම්වරයා හිස් මුදුනින් අනුමත කරලා තිබෙන නිසා, මෙම පාඩුව වෙලා තිබෙන බව විගණන වාර්තාවේ තහවුරු කර තිබෙනවා.

වැඩි මුදලට අරගෙන තිබෙන එම පරීක්ෂණ කට්ටල අඩුම තරමින් මිනිස්සුන්ගේ පරීක්ෂණ සදහා අනුමැතිය පවා නැති (IVD සදහා තහවුරු නොකල), අධ්‍යන පර්යේෂණ සදහා පමණක් අනුමත කරපු (Research Use Only) සායනික පරීක්ෂණ සඳහා යොදා ගැනීමට නිර්දේශිත නොවන වර්ගයේ ඒවා. වැඩි මුදලට ඒවා ගැනීමට බලපෑම් කරලා තියෙන්නේ තාක්ෂණික ඇගයිම් කමිටු විශේෂඥයින්ගේ තාක්ෂණික නොවන තීරණ වලට සෞඛ්‍ය ලේකම්වරයා යටවීම නිසා. ඒවා තාක්ෂණිකව පැහැදිලි කර ගන්න සෞඛ්‍ය ලේකම් වරයාට දැනුමක් නැති නිසා.

පරීක්ෂණ මට්ටමේ තිබෙන  PCR කට්ටල තමයි වැඩි මිලකට මිලදී අරගෙන තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගැයීම් කමිටුව හරහා තාක්ෂණික හොරකමක් සිදු වෙනවා. ඇගයිම් කමිටු පත් කිරීමේදී PCR පරික්ෂණ සිදු කරන, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් ඒවාට අනිවාර්යයෙන් පත් කල යුතුයි. එහෙම නීතියක් පවා තිබෙනවා. මුලු ලෝකයේම තක්ෂණික කමිටුවලට, මිලදී ගන්නා ද්‍රව්‍යයේ අවසන් පාරිභෝගිකයා (End User) සහභාගී කර ගැනීම සම්මතයක්. සෞඛ්‍ය ලේකම් මේ කිසිවක් සලකන්නේ නෑ. දන්නත් නෑ. එයා විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට අනිත් වෘත්තිකයින් නොසලකා හැරලා ගන්න තීරණ නිසා තමයි මෙවැනි ගැටලු සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වැඩිවෙලා තියෙන්නේ.

PCR පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ ඒකාධිකාරිය රැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශය. තාක්ෂණික කමිටු සදහා අදාළ විශේෂඥ වෛද්‍යවරුන් තෝරා ගන්නා ක්‍රමයත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනියි. කමිටු සාමාජිකයින් අහඹු ලෙස තෝරා ගත යුතු වුවත්, බොහෝ කමිටු වල ඉන්නේ එකම කණ්ඩායම. අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු තමන්ට හිතවත් ආකාරයෙන් තෝරාගැනීම නිසා තමයි මෙවැනි පාඩුවක්‌ වෙලා තිබෙන්නේ.

අපි විශ්වාස කරන්නේ PCR මිලදී ගැනීම විගණකාධිපති වාර්ථාවේ සදහන් මුදලටත් වඩා පාඩුව දෙතුන් ගුණයකට වැඩියි කියලා. ජනාධිපතිවරයා අපි කියන දේවල් පිළිබඳ විශ්වාස කරලා ක්‍රියාමාර්ග ගත්තේ නෑ. කරුණාකර දැංවත් විගණකාධිපති වාර්තාව කියවලා බලන්න. මේ සියලු දේ සිදු වන්නේ ඖෂධ නියමාකාරයෙන් පාලනය කිරීම සඳහා වෙනම නිෂ්පාදනය කිරීම සඳහා  අමාත්‍යාංශයක් ඇති කර තිබියදී .

“ලෝකල් පර්චස් පාඩුව” පෙන්නා ජනාධිපතිවරයාගේ කනෙං රිංගලා

ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා පහුගිය දිනවල ප්‍රචාරයක් ලබා දුන්නා ඔහු හදිස්සි මිලදී ගැනීම් නැවැත්තුවා කියලා. හදිස්සි මිලදී ගැනීමෙන් නැවැත්වීමෙන් ඇතිවූ වාසිය පෙනවමින් ජනාධිපතවරයාව නොමග යවා, වෛද්‍ය සැපයීම් අංශය විරුද්ධ වෙදීදී, ඇස්තමේන්තුගත ඖෂධ වලට වඩා 25% මිලදී ගන්න ඖෂධ සංස්ථාව බලහත්කාරය යොදවලා. වැඩිපුර ඖෂධ මිලට ගන්නේ වැඩිපුර කොමිස් සදහා. ඒක “ලෝකල් පර්චර්ස්” වංචාවට වඩා ලොකු එකක්.

මේ විදිහට වැඩිපුර ඖෂධ මිලදී ගැනීම නිසා මිලියන 2000ක පමණ ඖෂධ අතිරික්තයක් ඇති වෙලා. තිබෙන  අතිරික්තය පාලනය කරන්න බැරිවෙලා තිබෙනවා. මාස ගණනාවක් තිස්සේ අපි ඊට පිළියම් යොදන්න කියලා සෞඛ්‍ය ලේකම්ට කියනවා. සාක්ච්ඡාවක්වත් නැහැ.
දරුවන් සදහා දෙන ප්‍රතිජීවක ඖෂධ සහ ප්‍රතිජීවක පරීක්ෂණ කට්ටලවල විශාල අතිරික්තයක් ඇති වෙලා තිබෙනවා. සමහර ප්‍රතිජීවක 75-80% ප්‍රමාණ වලින් ඉතුරු වෙලා. ඒවා කල් ඉකුත් වෙලා නාස්ති වෙනවා කියලා දැන දැනම, විකල්ප ක්‍රමයක්වත් ක්‍රියාත්මක කරන්න සෞඛ්‍ය ලේකම්ට බැරිවෙලා තියනවා.

SPC එක, ඇස්තමේන්තු කළාටත් වඩා වැඩිපුර බලහත්කාරයෙන් ඖෂධ ගෙන්වීමේ යෝජනාව අනුමත කරගෙන තියෙන්නේ “ලෝකල් පර්චස්” නවත්තන සුදු පිරුවටයෙන් ඔතලා. මේකෙන් හානි වන මුදල කොපමණද කියලා තවම ගණනය කරලා නැහැ.
මේක සාධාරණීකරණය කරන්නේ හදසි මිලදී ගැනීම් කතාව එළියට දාලා  අපි මාස හයක් තිස්සේ රාජ්‍ය අමාත්‍යාංශයට මේ ගැන කියලා තියෙනවා අද වෙනතුරු ඒ පිළිබඳ කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ.

මේ අතිරික්තය අනූව රෝගීන්ගේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය සහ ඒවා නියම කිරීම වෛද්‍ය නිර්දේශ පිළිබද වැරදිසහගත තත්වයන් පිළිබදවත් සොයා බලන්න වෙනවා. ඖෂධ නියම කිරීම හා ඖෂධ ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතුයි.

2020 වර්ෂයේ දී ඖෂධ මිලදී ගැනීම් හා ප්‍රසම්පාදන කටයුතු වල දී විශාල වශයෙන් වංචා සිදු වෙලා තිබෙනවා කියලා අපි කියනවා. මේ රටේ ඖෂධ සම්බන්ධයෙන් පාලනයක් තිබෙනවා නම් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්නැයි අපි ඉල්ලා සිටිනවා. ඉතා අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්, සල්ලි නැතුව දුක් විඳින මිනිස්සු ඉන්න රටක්, එහෙම කාලයක් ගෙවමින් අප සිටින්නේ. එහි දී ගසාකන්න ඉඩ තැබිය නොහැකියි, කියන කාරණාව අපි මතක් කළ යුතුයි .

ජයසුමන ඇමති, වැඩි මුදලට ගන්න චීන එන්නත බේරා ගන්න, පර්යේෂණ ප්‍රතිඵල විකෘති කරනවා

චන්න ජයසුමන ඇමති, ෆයිසර්, මොඩර්නා සහා ජොන්සන් අන්ඩ් ජොන්සන් එන්නත් පිළිබද පර්යේෂණයක ප්‍රතිඵල පෙන්නලා, චීන එන්නත හොදයි කියා ගන්න හදනවා.  මොන එන්නත ගැහුවත් ආරක්ෂාව දිනපතා අඩු වෙනවා, ඒ නිසා එන්නත් ආරක්ෂාව සදාකාලිකයි කියලා හිතාගෙන වැඩකරන අයට ඒක හොද පණිවිඩයක්. මරණ 20යි. ආසාධිතයින් 500යි කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙවේ. ආණ්ඩුවට නොම්මරයක් වුණාට, මැරෙන අයට තියෙන්නේ එක ජීවිතයයි.

පසුගිය වසරේ ඖෂධ හා අනෙකුත් සෞඛ්‍ය සැපයුම් මිල දී ගැනීමේදී වංචාව දූෂණය හා වැරදි තීන්දු නිසා විශාල මුදලක් හානි වී ඇති බව 2020 විගණාධිපති වර්ථාවේ සදහන් වෙලා තිබෙනවා. ලොව පුරා වැඩිපුරම පිළිගත් එන්නත් අඩු මුදලට තිබියදී, චීන එන්නත ඉතා වැඩි මුදලකට ගෙන්වීම නිසා රටට අහිමිවී ඇති මුදල මෙතෙක් කිසිවෙකු විසින් ගණන් බලා නොමැති බැවින් ඒ පිළිබදව වහා විගණන පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් දෙන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

නව රැල්ලක් අනිවාර්යයයි

මරණ 20යි. ආසාධිතයින් 500යි කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙවේ. ආණ්ඩුවට නොම්මරයක් වුණාට, මැරෙන අයට තියෙන්නේ එක ජීවිතයයි. මේ යන විදිහට නව රැල්ලක් අනිවාර්යයි. වැරදි තීරණ ගන්න අයයි, තීරණ නොගෙන ඉන්න අයයි අනාගතයේ මැරෙන හැම ජීවිතයකටම වග කියන්න ඕනේ.

Related Posts