ලෝකයේ රටවල් පිනවීමට ශ්‍රී ලංකාව සූදානම් නැහැ – මහාචාර්ය ජී. එල්. පීරිස්

Spread the love

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (01 නොවැ.) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ලෝකයේ කිසිඳු රටක් පිනවීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන බවත් ශ්‍රී ලංකාව ලෝකයේ ස්වාධීන රාජ්‍යයක් බවත් කිසිඳු රටක යටත් විජිතයක් නොවන බවත්ය.

ලබන 2013 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් පෙන්නුම් කළ යුතු බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කිසියම් ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නේ සහ පවතින ප්‍රතිපත්ති සංශෝධනය කරන්නේ රටේ ජනතාවට අවශ්‍ය පරිදි බව පෙන්වා දුන් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙවැනි නියෝග නිකුත් කිරීමට කිසිවකුටත් නොහැකි බවත්, එවැනි බලපෑමකට ශ්‍රී ලංකාව යටත් කළ නොහැකි බවත් කියා සිටී.

වගකිව යුතු රජයක් ලෙස වර්තමාන රජය කිසියම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ රටේ ජනතාවට හිතකර නම් පමණක් බව කී ඒ මහතා එසේ නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවද කීවේය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා කැනේඩියානු අගමැති ස්ටෙෆන් හාපර් ශ්‍රී ලංකාවට පැමිණෙනවාද, නැද්ද, යන්න කැනේඩියානු තීරණයක් බවත්, එය පොදු රාජ්‍ය මණ්ඩලයට හෝ ශ්‍රී ලංකාවට අදාළ නොවන බවත්ය.

RSL

Related Posts