ලාංකිකයන් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික බිම් වෙත..!

Spread the love

රටපුරා කතාබහට ලක්ව ඇති, මෙරට හිටපු හමුදා සෙබලුන් වංචනික ලෙස රුසියානු හා යුක්‍රේන හමුදාවට බඳවා ගැනීමේ සිදුවීම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ රණවිරු පවුර සංවිධානය මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදුකරන ලදී.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ එක්සත් ජනරජ පෙරමුණු උප සභාපති, රණවිරු පවුර සංවිධානයේ සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතාත්, රණවිරු පවුර සංවිධානයේ කැඳවුම්කරු, පක්ෂ මධ්‍යම කාරක සභික කපිතාන් ගයාන් මහතාත් සම්බන්ධ විය.

එහිදී අදහස් දැක්වූ පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ මේ වනවිට රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විශාල වශයෙන් මෙරට ආරක්ෂක අංශ වල සේවයේ නියුතු හා විශ්‍රාමික නිලධාරීන් මුහුණ දී ඇති බවත් එහි දිගුවක් ලෙස අද වනවිට මෙලෙස ඔවුන් වංචනික ආකාරයෙන් රුසියානු හා යුක්රේන හමුදාව වෙත යැවීමේ ක්‍රියාවලියට හසුවී ඇති බවත්ය. එමෙන්ම මෙම ආර්ථික ගැටලු හමුවේ රට තුළ සිදුවන අපරාධමය කටයුතු සඳහා ඔවුන් පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවද රණවක මහතා පෙන්වා දෙයි.

“පසුගිය අවුරුදු දෙකක, තුනක කාලය තුළ වාර්තා වෙලා තියෙනවා 50,000කට අධික පිරිසක් ආරක්ෂක සේවා හැර ගිහින් තියෙන බව. විශ්‍රාම ගිය තව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. මේ පිරිස් හැම කෙනාටම සන්නද්ධ පුහුණුවක් තියෙනවා. පහුගිය දවස්වල පාතාල ලෝකයේ ඇතිවෙච්ච ඇතැම් ඝාතන වලට වෙඩික්කරු හැටියට ආරක්ෂක හමුදාවල දැනට සේවයේ නියැලිලා ඉන්න අයත් ඒ වගේම සේවයෙන් විශ්‍රාම ගිය පිරිසත්, සේවයෙන් පලා ගිය පිරිසත් සම්බන්ධ වෙලා තියෙන ආකාරය. ඒ වගේම නීති විරෝධීව මුහුදෙන් ගේන මත්ද්‍රව්‍ය වගේම අනෙකුත් බඩු භාණ්ඩ ගෙන ඒම පිළිබඳ කාර්යයේදී ඇතැම් නාවික හමුදාවේ සහ හමුදාවල වැඩ කරපු අය මැදිහත් වෙන ස්වභාවය අපි දැකලා තියෙනවා. මේකම එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ සම්බන්ධයෙනුත් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා.”

“දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය 84 දෙනෙක් මේ විදිහට යුද බිමට ගිය බව. එයින් 08 දෙනෙක් මියගිහින් තියෙන බව. කෙසේ නමුත් නිල නොවන වාර්තා පවසන්නේ මේ සංඛ්‍යාව මීට වඩා විශාලයි කියලා. රජය මේ පිළිබඳව මැදිහත් විය යුතුමයි. විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් මැලේසියාවට, එහෙම නැත්නම් සිංගප්පූරුවට ගෙන ගිය අය අද වෙනකොට බුරුමයේ එහෙම නැත්නම් මියන්මාරයේ අන්තර්ජාල වංචනිකයින්ගේ කඳවුරු වල හිරකාරයෝ බවට පත්වෙලා තියෙනවා. තවත් සමහර අය විදේශ රටවල ගොවිපොළ වලට, බටහිර ලෝකයේ රටවල් වලට අරන් ගිහිල්ලා ඒවායින් පලා ගිහිල්ලා අතරමං වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ කෘෂිකාර්මික බිම් වලට අපේ පිරිස් යවන ස්වභාවයක් තියෙනවා. තාම සිදුවීම් වාර්තා වෙලා නෑ. නමුත් මේවායේ ආරක්ෂිත තත්වය පිළිබඳව රජය වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. තරුණ තරුණියෝ අතරේ මේ පිළිබඳ උන්මාදයක් ඇති කරනවා වගේම ඒ අයගේ වගකීම බාරගන්න ඕනේ.”

ඉන් අනතුරුව අදහස් දැක්වූ රණවිරු පවුර සංවිධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරන මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා පවසා සිටියේ තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා තම ජීවිතය කැප කොට යුද වැදුණු රණවිරුන් පිළිබඳව අද වනවිට රජය විසින් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවයි.

මේ වනවිට සේවයේ නියුතු හා විශ්‍රාම ගිය නිලධාරීන් මෙලෙස වංචනිකයන් ගේ කටයුතු වලට රැවටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ට ලැබෙන මාසික වේතනය ප්‍රමාණවත් නොවීම බවද ඒ මහතා පවසයි.

අප රටේ ආරක්ෂක නිලධාරීන් විදේශීය සාමසාධක හමුදා වශයෙන් යැවීමේ හැකියාව තිබියදී ආරක්ෂක අමාත්‍යංශය එසේ නොකර සිටින බවත් එලෙස යැවීමෙන් එම නිලධාරීන්ට හා රටට විදේශ විනිමය ලබාගැනීමේ හැකියාව පවා ඇති බව මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා පෙන්වා දෙයි. ඒ අනුව මෙලෙස ගොස් අසරණ වී සිටින මෙරට හමුදා සෙබලුන් වහාම ගෙන්වා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කලයුතු බව රණවිරු පවුර සංවිධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරන මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන රජයට අවධාරණ කරන ලදී.

ඉන් අනතුරුව අදහස් දැක්වූ කපිතාන් ගයාන් මහතා පවසා සිටියේ රණවිරුවන් හට නිසි තැනක් නොලැබීම හේතුවෙන් හා දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවැනි ක්‍රියා සිදුවන බවයි. එමෙන්ම හමුදාවේ හිටපු ඉහළ නිලධාරීන් මෙම වංචනික ක්‍රියා සඳහා පෙළඹීම නිසාවෙන් තමන්ට ලැජ්ජාවක් ඇතිවන බවද ඒ මහතා අවධාරණය කරන ලදී. මේ නිසාවෙන් මෙවැනි වංචනික ක්‍රියා සොයාබලා කටුයුතු කිරීම සඳහා වහාම කමිටුවක් පත්කලයුතු බවද කපිතාන් ගයාන් මහතා පවසන ලදී.

Related Posts