රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ  රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

අද මුළු රටම ආර්ථික සමාජ දේශපාලනික ඛේදවාචකයකට ලක්ව ඇති බවත්,ඊට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර උරා ගැනීමේ හේතුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රක්වාන සමගි ජනබලවේගයේ සංවිධායක බී.කේ ආරියවංශ මහතා සංවිධානය කරනු ලැබූ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්  ඔහු මේ බව කීවේය.

බංකොලොත් වී ඇති රට තුළ දැන් සිදුවෙමින් පවතින අලුත්ම විජ්ජාව වන්නේ සර්වපාක්ෂික ආණ්ඩු ගුණ්ඩුව බවත්  රටට අවශ්‍ය වන්නේ ඇමති වරදාන පළඳවා ගනිමින් තනතුරු පිටුපස යන රටක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

දැන් වහාම සිදු කළ යුත්තේ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව විමසීම බැවින් ඉන් මෙහා විසඳුමක් නැතැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.