රනිල්ගේ ටයි පටියෙන් ගෙල වැළලා ගත් අපේ මාධ්‍ය – නිදහසේ වියමන –

Spread the love

ලාංකීය දේශපාලනයේ ඒකපාර්ශවීය සටන් බිමේ තවත් එක් සටනක් ජයගන්නට මහින්ද රාජපක්ෂ සමත් විය. ඒ 2012 බජට් එකය. ජනතාව ගොනාට අන්දවන අයවැයක විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස වටහා නොගත් විපක්ෂය අනියම් අන්දමින් මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දෙන්නේය.

පාර්ලිමේන්තුවේ විඩගමක් බවට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා තම ටයි පටිය ගලවා කල අමන ක්‍රියාව ජනතාවට සෙතක් විය හැකියැයි කිව නොහැක. එය බොහෝවිට ප්‍රයෝජනවත් වූයේ එල්ලෙන්නට වැලක් නැතිව බලා සිටින විමල් වීරවංශටත්, ඊනියා ජන මාධ්‍ය වලටත් පමණි. සීග්‍රයෙන් මහින්ද රාජපක්ෂ නඩයෙන් ලකුණු අඩුවෙමින් යන මොහොතක කෙටි ලකුණු රැස්කරමින් සිටි වීරවංශට දැවැන්ත පහරකට බෝලයක් රනිල් වික්‍රමසිංහ එව්වේය.

ජාතික මතවාදය කරපින්නාගෙන සිටින කැප්පෙටිපොලව අවුරුද්දක් පාසා අලෙවි කරන වීරවංශට රනිල්ගෙ ටයි පටිය ආශිර්වාදයක් බවට පත්විය. ඉදිරිපත් කලා වූ අයවැයෙන් පොදු ජනතාවට බලපාන ප්‍රශ්න ගැටළු හා මුහුණ පෑමට සිදුවන බාධා අභියෝග ගැන කතා නොකරන ඊනියා ජනමාධ්‍ය රනිල්ගේ ටයිපටියෙන් ගෙල වැළලා ගත්තේය.

බජට් එකත් සමග ටයිපටිය කරලියට ඒමත්, ඊට දැඩි විරෝධයක් ඇතිවීමත් අතර සැඟවුන දේශපාලන අර්ථකතන බොහොමයක් ඇත. ඉන් පළමු වැන්න වන්නේ රනිල්ගේ පෞරුෂය ඉහල නැංවීමේ ක්‍රියාදාමයයි. ටයි පටි ගලවා රැඩිකල් වන්නට රනිල් උත්සාහ ගන්නේත් එය ප්‍රධාන මාතෘකාව බවට පත්වන්නේත් එබැවිනි. එසේ නොමැතිව පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කැඩීම ගැන මහ ලොකු විවාදයක් අවශ්‍ය වන්නේ නැත. ඒ  දිනපතාම පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම සම්ප්‍රදායන් කැඩෙන බැවිනි. වරප්‍රසාද වලට යටවී කුණුහරුප කියාගැනීම, ගුටි බැට, පහරදීම්, අවනීති හැසිරීම් ඕනෑ තරම් දිනපතාම පාර්ලිමේන්තුවේ දැකිය හැක. රනිල්ගේ ටයිපටි කතාව දේශපාලනයේ ඊළග පිම්ම ගැන ඉඟියක් පවසයි. ඒ නැවත රනිල් වික්‍රමසිංහ වැඩකාරයෙකු කර සටන් බිමට බෞව්තීස්ම කිරීමයි.

මෙය රාජපක්ෂ පාලනයේ කොන්ත්‍රාත්තුවක් මිස වෙන යම් දෙයක් නොවේ, වීරවංශ මේ ටයිපටි පෙරහැරේ ප්‍රධාන කසකාරයා වී ඇත. ටයිපටියෙන් සිදුවූයේ සැබෑ සටන මොට වී රනිල් නැමති සාධකය ඉලිප්පීමය. එමගින් සිදුවූයේ අයවැයට එරෙහි සැබෑ සටන හා නිවරදි කතිකාවතට තිබුනු ඉඩකඩ ඇහිරීමයි.

මහින්ද රාජපක්ෂ පාලනයේ මල්වෙඩි ආර්ථික සංදර්ශන දෙස නෙත් අයා බලා සිටින බත් කන හරක් පවා යම් දිනෙක එහි අර්ථ ශූන්‍ය බව වටහා ගනු ඇත. එමෙන්ම රනිල්ගේ නායකත්වයට තවමත් ආවඩන ඇතැමුන්ට සියල්ල නිවැරදි ආකාරයට පසක් කරගන්නට කාලය උදාවනු  ඇත. සංදර්ශන, උද්ඝෝෂණ හරහා සැබෑ තත්වය ජනතාවට අවබෝධ කරදීමට හෝ ක්‍රමයට විරුද්ධ සටනට ජනතාව සූදානම් කිරීමට නොහැකිය. ඒ ලාංකීය ජනමාධ්‍ය මේ මොහොතේ මර නින්දක පසුවන බැවිනි.

වත්මන් පාලනයට එරෙහිව ජනතා හදගැස්ම තුල පවතින දැඩි විරෝධතාවය හඳුනා ගැනීම තුල ලංකාවේ ඉදිරි අනාගතය තීරණය වනු ඇත.

එහෙත් රනිල් වික්‍රමසිංහගේ ටයි පටියෙන් ගෙල වැළලා ගත් ජනමාධ්‍ය විසින් මේ කාර්ය භාරය සිදු කරාවිදැයි අපි නොදනිමු.

දේශයට හිතැති සැබෑ මිනිසුන් නීති ගරුක, යුක්ති ගරුක, සමාජයක් බිහිවන තුරු පුල පුලා බලා සිටින්නේය.

ඒ සඳහා අවැසි නායකත්වය දෙන්නේ කවුද ? මෙය ඔබ හමුවේ ඇති අභියෝගාත්මක ප්‍රශ්නයයි.

නිදහසේ වියමන – කාලීන දේශපාලන විග්‍රහය

RSL

Related Posts