යුගදනවි අර්බුදය : ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අගමැති හමුවෙයි

Spread the love

යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් සිය බලවත් විරෝධය පළකර ඇත.

මේ අතර එම පක්ෂවල නායකයෝ පිරිසක් අද (21) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදි හිටපු ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමති වාසුදේව නානයක්කාර, රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ ,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුද සහභාගි වූ බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කර ඇත.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී හෙට (22) දහවල් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව අග්‍රමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හෙට දහවල් 12 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ආණ්ඩුවේ ,පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් ට අද (21)දැනුම් දුන් බව අග්‍රමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

Related Posts