යාපනය විශ්ව විද්‍යාලයේ ගැටළු රැසකට විසඳුම්

Spread the love

අමාත්‍ය දේවාන්නදා මහතාගේ ඉල්ලීම පරිදි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය 30 වැනි දා කැඳවා තිබු සාකච්ඡාවකදී යාපනය විශ්වවිද්‍යාලයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප‍්‍රශ්න රාශියක් විසඳා තිබෙන බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සහ සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය වසන්ති අර්සරත්නම් මහත්මිය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඇතුළු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.

මෙහිදී අමාත්‍ය දේවානන්දා මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් යාපනය විශ්වවිද්‍යාලයට කෘෂිකර්ම සහ ඉංජිනේරු පීඨ ලබාදීමටද පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය කිලිනොච්චියේ පිහිටුවන බවත් ඒ සඳහා ඉන්දියානු ආධාර ඇ.ඩො. මිලියන 02ක් ලැබී ඇති බවත් සඳහන්.

කෘෂිකර්ම පීඨයේ සහ ඉංජිනේරු පීඨයේ වැඩකටයුතු මේ වසර අවසාන වීමට පෙර ආරම්භ කෙරෙන අතර ඉංජිනේරු පීඨය වෙනුවෙන් රුපියල් මිලියන 375ක් වැය කරයි. එයට නවීන ශ්‍රවණාගාරයක් ද ඇතුළත් වේ. ඒවායේ ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය දිසානායක මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙහිදී වවුනියාව විශ්වවිද්‍යාලයේ තත්ත්වය උසස් කිරීම පිළිබඳ ව ද එහිදී සාකච්ඡා විය.


RSL

Related Posts