පසුගිය දා ගාල්ලේදී පැවති එ.ජා.ප රැස්වීම් මාලාවකදී එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සුනාමි ඛේදවාචකයෙන් පසු ගාල්ල නගරයේ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ලැබුණු සුනාමි මුදල්වලට කුමක් වුණාද කියා තමන් රජයෙන් ප්‍රශ්න කරන බවයි.
ගාල්ල නගර සභාවට එජාපයෙන් තරග වදින අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා දංගෙදර, තලාපිස්ටිය, දඩැල්ල, කොග්ගල කඩේ හන්දිය යන ප්‍රදේශවල පැවැති රැස්‌වීම් මාලාවකට සහභාගි වෙමින් විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
තවදුරටත් අදහස් දක්‌වමින් විපක්‍ෂ නායකවරයා මෙසේ ද පැවසීය.
සුනාමියෙන් ලැබුණු මුදල්වලින් ගාලු නගරයේ මාර්ග කීයකට තාර දැම්මාද? ඉතුරු මුදල් රහත් වුණාද? ගාලු නගරයට මහින්ද චින්තනය යටතේ කරපු සංවර්ධනයක් නැහැ. සිදුකොට ඇත්තේ දූෂණය විතරයි. මා අගමැති ධුරය දැරූ වසර දෙකක කාලය තුළදී සන්ධාන රජයට වඩා වැඩි වැඩ කොටසක් ගාල්ලට කළා. ගාල්ල දිස්‌ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 178 ක් ලබාදුන්නා. කරාපිටිය රෝහලේ පිළිකා රෝහල සඳහා ලක්‍ෂ 770 ක් දුන්නා. රජයේ සේවකයන්ට වැකුණගොඩ නිවාස ව්‍යාපෘතියක් ඉදිකළා. ගාලු නගරයේ පානීය ජල ප්‍රශ්නය විසඳුවා. වැකුණගොඩ නිවාස රජයේ සේවකයන්ට ලබාදීමට අප තීන්දු කොට තිබුණේ රුපියල් ලක්‍ෂ 7 1/2 ත් 10 ත් අතර මුදලකට. නමුත් රජය එම නිවාස ලක්‍ෂ තිහ හතළිහකට විකුණන්න හදනවා.
එ.ජා.ප. පාලන කාලයේදී ගාලු කොටුවේ ඉඩම් සුද්දන්ට විකුණන බවට මට චෝදනා කළා. නමුත් අපි රජයේ ඉඩම් විකුණුවේ නැහැ. දැන් සන්ධාන රජය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ සහ ඕල්සෙන්ස් විද්‍යාලයේ ඉඩම් සුද්දන්ට විකුණන්න හදනවා. එම පාසල් දෙක අක්‌මීමනට ගේන්න හදනවා. මේ රජය මගින් පොඩි මිනිහාට තැනක් නැහැ.
- Wednesday
- March 19th, 2025