බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන‍්තොටුපොළට නව පිටවුම් අංශයක්

Spread the love

ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් එක් ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිල්ක් රූට් (Silk Route) නමින් පහසු පිටත්වීමේ අංශයක් පසුගිය 22 වැනිදා විවෘත කර තිබේ. සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කළ අතර අමාත්‍යංශ ලේකම් රංජිත් ද සිල්වා මහතා සහ ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ඇතුළු ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක් ව සිටියහ. වාණිජමය වශයෙන් වැදගත් වන අමුත්තන් හට ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ, ආගමන හා රේගු ක්‍රියාවලිය සිදුවන තුරු සිල්ක් රූට් හි නිදහසේ පහසුවෙන් රැඳී සිටීමට මෙමඟින් අවස්ථාව හිමිවේ.
සිල්ක් රූට් පහසු පිටත්වීමේ අංශය විශේෂයෙන් ම නිර්මාණය කරනු ලැබූවේ සංචාරකයින්ගේ පරීක්ෂණ කටයුතු සිදුවන අතරතුර සුව පහසුවෙන් කාලය ගත කළ හැකි ස්ථානයක් වශයෙනි.‍ 2009 දී මොබිටෙල් ආයතනය සහ ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සහයෝගීතාවයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිල්ක් රූට් නමින් පහසු ඇතුළුවීමේ අංශයක් විවෘත කිරීමත් සමඟ ම මෙරටට පැමිණෙන වාණිජමය වශයෙන් වැදගත් අමුත්තන් සඳහා පහසු ප්‍රවේශයක් සලසා දිය හැකි විය. ජාතික ජංගම දුරකතන ජාලය වන මොබිටෙල් සහ ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගම අතර ඇති කර ගත් සහයෝගීතාව අනුව සිල්ක් රූට් වෙත පිවිසෙන අමුත්තන් හට නොමිලේ Wi-Fi සහ අවශ්‍ය අනෙකුත්  සියලු ම සන්නිවේදන පහසුකම් මේ යටතේ සලසා දී තිබෙන බව ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ඒ අවස්ථාවේ දී පැවසීය. සිල්ක් රූට් වෙත පිවිසෙන අමුත්තන් වෙත ශ්‍රී ලංකාවේ දී අමතක නොවන හෘදයාංගම ආගන්තුක සත්කාරයක් විඳ ගත හැකි වන බවත් ආයෝජකයින්, අති විශේෂ අමුත්තන් සහ වෙනත් විශේෂිත අමුත්තන් වෙත හිමිවන මෙම සත්කාරයන් තුළින් මෙරට අනාගතයට වාසිදායක ප්‍රතිලාභ ඇති කරනු ඇති බවත් ඔහු සඳහන් කළේ ය.මෙම සිල්ක් රූට් පහසු පිටත්වීමේ අංශය ස්ථාපනය කිරීම තුළින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දකුණු ආසියානු කලාපයේ හොඳ ම ගුවන්තොටුපොළ බව නැවත නැවතත් ඔප්පු වන බව ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගම පවසයි.  මෙම නවීන පහසුකම් මෙරටට පැමිණෙන සංචාරකයින්ට ලබාදීමෙන් රටේ අනාගත සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් ලැබේ. අපගේ රටින් ඔවුන් පිටත්වයාමට මත්තෙන් ඔවුන්ට හිමිවන මෙම විවේකී සුව පහසුව ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය නිසා  මෙරට කීර්තිනාමය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වන බව සමාගම පවසයි.
රජයේ පූර්ණ අධිකාරිය යටතේ පාලනය වන ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගම විසින් මෙරට සියලු ම සිවිල් ගුවන්තොටුපොළවල් සංවර්ධනය සහ කළමනාකරණය කරනු ලබයි. මෙරට ප්‍රමුඛ ජනසතු ව්‍යාපාරයක් වන ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගම මෙරට සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම සඳහා සුවිශාල කැපවීමක් සිදුකරයි. ඒ අනුව ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගම ශ්‍රී ලංකාවේ ඉහළ ලාභදායී සමාගම් අතර ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන සමාගමක් බව එම සමාගම පවසයි.

 

RSL

Related Posts