පළමු වතාවට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට සහතික පත්‍රයක්

Spread the love

මීට ඉහතදී  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් උපදෙස් මත ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශය අනුව මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කෙරේ.

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සමත් දරුවන් සඳහා සහතික ප‍්‍රදානය කෙරේ.

ඒ අනුව එක් ප‍්‍රශ්න පත‍්‍රයකට ලැබුණු ලකුණු 35 බැගින් ප‍්‍රශ්න පත‍්‍ර දෙකට ලකුණු 70ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ලබා ගත් දරුවන් සඳහා තමන් ලබා ගත් ලකුණු ප‍්‍රමාණයද නිශ්චිත ලෙස දක්වා විභාග දෙපාර්තමේන්තුව මඟින් සහතිකයක් නිකුත් කරනු ලැබේ.

මෙතෙක් සිදු වූයේ ශිෂ්‍යත්ව ලබා දෙන ප‍්‍රමාණය අනුකූල ව කඩඉම් ලකුණු ප‍්‍රමාණය ප‍්‍රකාශයට පත් කිරීමය. මෙම කඩඉම් ලකුණු ප‍්‍රමාණය දරුවෙකු ලබා නොගත් විට එම දරුවන් අසමත් ලෙස සැලකීමට පුරුදු ව සිටි නිසා බරපතළ හානියක් දරුවන්ට ඇති වන බව මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේය.

කුඩා දරුවන් තුළ එවැනි මානසික පීඩනයක් ඇති කිරීම ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන ගමනට බාධාවකි. එබැවින් විභාග සමත් වූ සෑම දරුවෙකුට ම සහතිකයක් ලබා දීම ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

මෙය සංකේතවත් කරමින් 2010 සහ 2011 වසරවල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරු දැරියන් පිරිසකට ජනාධිපතිතුමා අතින් අදාළ සහතිකපත් ලබා දීම ද අද (01) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී සිදු විය.

මෙම සංකේතාත්මක සහතික ප‍්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා කොළඹ විශාඛා විද්‍යාලය, ශාන්ත පාවුළු මිලාගිරිය බාලිකා විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය සහ නුගේගොඩ අනුලා විද්‍යාලය නියෝජනය කරමින් දරු දැරියෝ සහභාගී වූහ.

2010 සහ 2011 වසරවල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන් සඳහා මෙම පාසල් නිවාඩුවට පෙර විදුහල්පතිවරුන් මඟින් අදාළ සහතිකපත් ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එච්.එම්. ගුණසේකර, විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ යන මහත්වරු ද, අදාළ පාසල්වල ගුරු මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

RSL

Related Posts