දූෂණ හෙළිදරව් කිරීමේදී කිසිදු ආකාරයක තරාතිරමක්‌ අපට වැදගත් වෙන්නෙ නැහැ – දූෂණ විරෝධී හඬ

Spread the love

පසුගිය දා (30 අගෝ.) පැලවත්ත ජවිපෙ මූලස්‌ථානයේදී “දූෂණ විරෝධී හඬ” සංවිධානයේ ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාව එහි කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය. 


දූෂිත විරෝධී හඬ” සංවිධානය, සිද්ධ වූ දේවල් වාර්තා කරන සංවිධානයක්‌ වෙනුවට, රටේ සිද්ධවෙමින් යන වංචා දූෂණ නාස්‌තිය සහ මහජන මුදල් විනාශ කරන ක්‍රියාවලි පිළිබඳව තරාතිරම නොබලා හෙළිදරව් කරනවා. ඒ වගේම ඒ දූෂණ ඔප්පු කරල සමාජයට යහපතක්‌ කරන්න මැදිහත් වෙනවා. අපි හිතනවා, ඒක අපේ වගකීමක්‌ කියලා.

මේ දූෂණ හෙළිදරව් කිරීමේදී කිසිදු ආකාරයක තරාතිරමක්‌ අපට වැදගත් වෙන්නෙ නැහැ. බලපුළුවන්කාරකමක්‌ හෝ නිල බලයක්‌ අපට වැදගත් වෙන්නෙ නැහැ. මේ රටේ මහජන මුදල් නාස්‌ති වෙන්නෙ කොතැනද අයථා ලෙස පරිහරණය කරන්නෙ කොතැනද සහ මහජන දේපළ විනාශ කරන්නෙ කවුද කියන එක අපි හෙළිදරව් කරනවා. එපමණක්‌ නොවෙයි ඒවා රටේ පවතින නීතිය ඉදිරියට ගෙනත්, නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා පියවර ගන්න අපි බලාපොරොත්තු වෙනවා.

රටේ අල්ලස්‌ හා දූෂණ පනතක්‌ තියෙනවා. අද ඒක අක්‍රීය කරල තියෙන්නේ. එහෙත් ඒ පනත අනුව රටේ මහජන දේපළ කවුරු හරි අයථා ලෙස පරිහරණය කරනව නම් ඔවුන් වරදකරුවන් බවට පත්වෙනවා. විධායකය නියෝජනය කරන ජනාධිපතිවරයා පවා කැබිනට්‌ ඇමැතිවරයකු ලෙස මේ අල්ලස්‌ හා දූෂණ චෝදනාවලට ලක්‌ වෙන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, පළාත් සභා ඇමැතිවරු හැම කෙනෙක්‌ම මේ සඳහා අයත් වෙනවා.

අපේ සංවිධානයට මේ වන විට රජයේ වංචා සහ දූෂණ පිළිබඳ තොරතුරු ගලා එමින් පවතිනවා. නොයෙකුත් අමාත්‍යාංශවල සහ රාජ්‍ය ආයතනවල සිදුවෙමින් තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අපට ලැබෙමින් තිබෙනවා. එම තොරතුරු අප වෙත ලබාදෙන රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාට රට වෙනුවෙන් අපේ ගෞරවය, ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම එම තොරතුරු වාර්තා කිරීමෙන් ඔබ්බට ගිහින්, ඕනෑම අභියෝගයකට මුහුණ දීලා රටේ සිද්ධ වෙන මේ මහජන මුදල් නාස්‌තිය වළක්‌වලා, එම මහජන දේපළ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන්න අපි සංවිධානයක්‌ ලෙස ලෑස්‌තියි.

දූෂණ විරෝධී හඬ සංවිධානයට උදව් කරන, ඒ වෙනුවෙන් පෙනී ඉන්න හැම දෙනාටම විවිධ තර්ජනයන් මර්දනයන් එල්ල වන බව අපි දන්නවා. මේ දූෂණ විරෝධී හඬට බය වෙන්නෙ ඒ වෙනුවෙන් කුලප්පු වෙන්නෙ දූෂිතයො. ඒ වෙනුවෙන් අපත් එක්‌ක ඉන්න බොහෝ දෙනාට විවිධාකාරයේ තර්ජනයන්, අපහාසයන් සහ නින්දාවන් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සංවිධානය අපි පිහිටෙව්වෙම එය දැනගෙන. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමාත් ඒ වගේම හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මැතිතුමන් ඇතුළුව මේ රටේ නීතියේ සහ විගණනයේ පළපුරුද්දක්‌ තියන පිරිස්‌ මෙහිදී අපට උදව් කරමින් සිටිනවා. ඒ අයට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නේ, අවලාද නගන්නේ විශේෂයෙන් මේ හඬ යටපත් කරන්නයි. දූෂණය රටේ රජකරන නිසා දූෂිතයො මේ හඬට බයයි. අපි ඒක ඒ තරම් ගණන් ගන්නෙ නෑ. සංවිධානයක්‌ හැටියට අපි වැඩ කරමින් යනවා.

RSL

Related Posts