ප්රජාතන්ත්රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
එය මුළු මහත් සමාජයම එක හඩින් යුතුව පිටුදැකිය යුතුව ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහි තවදුරටත් මෙසේ ද සඳහන් වේ.
“අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවිල් හා දේශපාලන ක්රියාකාරකයන් පිරිසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් කිසිදු අධිකරණයක් හමුවට පමුණුවන්නේ නොමැතිව දින 90ක් රැදවුම් භාරයේ තබාගැනීමට රජය කටයුතු කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් පුරවැසියන්ට ලබාදී ඇති හිමිකම්වලට මෙන්ම විසම්මුතියට ඉහළින්ම ගරු කරන හා වඩා යහපත් රටක් පිළිබඳව ප්රාර්ථානාවෙන් යුත් ශිෂ්ට සමාජය එවැනි තත්ත්වයක් කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැත.
දේශපාලනික හා ආර්ථික වශයෙන් අද වනවිට රට මුහුණ දෙමින් සිටින්නේ බරපතල අවදානමකටය.
එවන් පරිසරයක අප රට තුළ මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව අතරෙහි ද ඉමහත් විරෝධයට හේතු වූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි දුර්දාන්ත නීති තවදුරටත් අප පිළිගැනීමට ලක්කරන්නේ නම් ඒ මගින් රටේ ජනතාවගේ නිදහසට හා අයිවාසිකම්වලට සිදුකරන තර්ජනයට අමතරව රටක් ලෙස අප අන්තර්ජාතික වශයෙන් ද කොන්වීමට හේතුවක් වනවා නිසැකය.
රට මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට යහපත් විසදුමක් සපයාගැනීමට අන්තර්ජාතික වශයෙන් ලබාගත යුතුව ඇති සහයෝගය අන් කවරදාකටත් වඩා අවශ්‍යව ඇති මෙවන් මොහොතක එවැනි ක්‍රියාවන් අප රටට බරපතල ප්‍රතිවිපාක අත්කරදීමට හේතුවක් ද වනු ඇත.
එබැවින් අප මාතෘ භූමියේ හා අනාගත දරු පරපුරේ නාමය පෙරටු කරගනිමින් මේ මොහොතේ රජයෙන් ඉල්ලා සිටින්නේ සිවිල් හා දේශපාලන ක්‍රියාධරයන් මර්දනයට ලක්කිරීම වහාම නවතා දමන ලෙසය. ත්‍රස්තවාදය වැලැක්වීම පනත වැනි දුර්දාන්ත නීති යුක්තිසහගත කිරීමට කටයුතු නොකරන ලෙසටය. මර්දනය හා තර්ජනය වෙනුවට සෑම පාර්ශවයක් වෙතම මිත්‍රත්වයේ හස්තය දිගු කරන ලෙසටය. ඉන් අනතුරුව නිශ්චිත වැඩපිළිවෙලක් සහිතව ඉතා සීමිත කාලයක් ඉලක්ක කරගනිමින් බල පොරයෙන් තොර සම්මුතිවාදී වැඩපිළිවෙලකට ප්‍රවේශ වන ලෙසටය.