ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් පැවරීම හරයක් නැති දෙයක් – ජී. එල්. පීරිස්

Spread the love

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක් පැවරීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ද්‍රවිඩ ජාතිකයකු කටයුතු කිරීම හුදෙක් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ගන්නා ලද උත්සාහයක් බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.

මෙය කිසිදු හරයක් නොමැති උත්සාහයක් බවත් අදාළ නඩුව ආරම්භ කිරීමටත් ප්‍රථම අවසන් වූ බවත් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම් පැවැති කාල සීමාවේදී යුද අපරාධ සිදුවූ බවට චෝදනා කරමින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෙකු වන අරුණාචලම් ජෙගදීස්වරම් (63) නැමැත්තා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මෙල්බර්න් නුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පැවරීමට උත්සාහ ගෙන ඇත.

කෙසේ වුවද මෙලෙස ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට එරට ෆෙඩරල් රජය ප්‍රකාශ කරන ලද අතර එය ඕස්ට්‍රේලියානු නීතිපති රොබට් මැක්ලීලන්ඩ් විසින් ද සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. මේ තත්ත්වය පිළිබඳව නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙන බව පෙන්වා දෙන විදේශ කටයුතු ඇමැතිවරයා එවැනි නඩුවක කිසිදු පදනමක් නොමැති බවද කියා සිටී.

ජාත්‍යන්තර නීතියට අනුව ලෝකයේ කිසිදු රාජ්‍ය නායකයකුට එරෙහිව නඩු පැවරීමට නොහැකි බව පවසන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද එම රැකවරණය හිමි බව සඳහන් කරයි. 1985 විදේශ රාජ්‍ය මුක්තිය පිළිබඳ පනත යටතේ ලෝකයේ ඕනෑම රාජ්‍ය නායකයෙකුට එරෙහිව නඩු පැවරීමට නොහැකි වෙයි.

Loading...

RSL

Related Posts